අපේ බුදුහාමුදුරුවෝ 341 (සන්තිකේ නිධානය)

 

අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 04

මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන් ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිබ්‍රාජකයා එදා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන් ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසුවේ නොවිසිල්ලෙන්.. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථෝක්ත ගාථාවම සජ්ජායනා කරනු ලැබුවා. ඒ ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා පිහිටනු ලැබුවා.

යහළුව, අපේ ශාස්තෘවරයන්වහන්සේ කොහි වසනසේක්ද? එහෙම ඇසුවේ කෝලිත (මුගලන්) පිරිවැජියා. එවිට උපතිස්ස ඇවැත්නී, වේළුවනාරාමයෙහි යයි අපේ ආචාර්ය අස්සජි තෙරණුවන් විසින් දන්වන ලදැයි කියා සිටියා. යහළුවාණනි, එසේ නම් අප බුදුන් දැකීමට යම්හයි කෝලිත පිරිවැජිතෙම පවසා සිටියේ නොවසිල්ලෙන්. එහෙත් අපගේ සැරියුත්තෙරුන්වහන්සේ සැමදාමත් ගුරුවරුන්ටය ගෞරව කරනු ලැබුවා. එහෙයින් යහළුවාට මෙසේ කිවා. යහළුව අපි නිවන වෙත පැමිණියෙමු. ඒ බව අපේ ආචාර්ය සංජය පිරිවැජියාටද කියමු. අවබෝධය ඇති නිසා අප ගැන දැන ගනු ඇත. ඒ බව නොදතහොත් අපටද කියා බුදුන් හමුවට යනු ඇති. බුදුන්ගේ දේශනා අසා මාර්ගඵල ප්‍රතිවේධ කරනු ඇතියි සිතා දෙදෙනාම සංජය එනම් තම පැරණි ගුරුවරයා වෙත පියමැන්නා. .

සංජය ඔවුන් දෙදෙනා දැක, දරුවනි, කිම? තොපට අමාමග කියා දෙන යම්කිසි දේශකයකු ලැබුණේදැයි විචාරනු ලැබුවා. එසේය ඇඳුරුතුමනි, ලැබුවෙමු. බුදුහු ලොව උපන්හ. දහම උපන්නේය. සංඝයා ලොව උපන්හ. ඔබ තුච්ඡ වූ මේ සසරෙහි සැරිසරන්නහුය. බුදුන් ළඟට යෑමට අප හා එනු මැනවියි පවසමින් ආයාචනය කරනු ලැබුවා.

නුඹලා යන්න. මට යා නොහැකියි. ඇඳුරුතුමනි, ඒ ඇයි? මම මෙතෙක් මහජනයාට ආචාර්යව හැසුරුණෙමි. එසේ සිටි මා අතවැසි බවට පත්වීම සැළියක්ව සිට කෙණෙස්ස (දිය ගන්නා හැන්ද) වීමකි. මට යටත් වැසියකුව විසීම කළ නොහැකියි. ආවාර්යයෙනි, එසේ නොකරව්. කමක් නැහැ. දරුවනි නුඹලා යන්න. මට යෑම අමාරුයි.

ඇඳුරුතුමනි, ලොව බුදුන් උපන් කාලයේ පටන් මල් ගඳ විලවුන් අතින් ගත් මහජනයා බුදුන් හමුවට ගොස් උන්වහන්සේ පුදති. අපිත් එහිම යන්නෙමු. ඔබ කුමක් කරන්නෙහිදැයි මවිතයෙන් අසා සිටියා. එහෙත් ඔහු තමන් ගත් තීරණයේ දැඩිව එළඹ සිටියේ දැඩි මාන්නයෙන් විය හැකියි. ඔහු මෙසේ පෙරලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙපළගෙන් විලසා සිටියා.

 කිමෙක්ද දරුවනි, මෙලොව වැඩියෙන් සිටින්නේ මෝඩයන්ද, නැත්නම් පණ්ඩිතයන්ද? ඇදුරුතුමනි, මෙලොව මෝඩයෝ බොහෝය. පණ්ඩිතයෝ ඉතාමත් අල්ප දෙනෙකියි කීහ. එසේනම් දරුවනි, පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට යෙති. මෝඩයෝ මෝඩ වූ මා ළඟට එන්නාහුය. තෙපි යවු. මම නොයන්නෙමි. ඇඳුරුතුමනි, එසේනම් මේ ක්‍රියා පිළිවෙළින් ඔබගේම තතු ප්‍රකට වනු ඇතැයි පවසා ඔවුන් දෙදනා ගුරුතුමාගෙන් සමුගත්තා.

ඒ දෙදෙනා යන විට සංජයගේ පිරිසද බිඳී ගියා. ආරාමය හිස් වුණා. හිස් වූ ආරාමය දුටු සංජය එම ශෝකයෙන් උණුලේ වමනය කරන්නට වුණා. ඒ පිරිසෙන් දෙසිය පනසක් පමණ මේ දෙදෙනා සමඟ ගිය කල සෙසු පන්සියය සංජය සමඟ නැවතුණාහ. කෝලිත-උපතිස්ස දෙසිය පනසක් පිරිස ද කැටුව වේළුවනයට ගියා.

ඒ මොහොතේ බුදුරජාණන්වහන්සේ පිරිස මැද දහම් දෙසමින් සිටියේ. සමහරවිට ඔවුන්ව බලපොරෝතුවෙන්ම වැඩ ඉන්නත් ඇති. එන්නා වූ දෙදෙන දුර සිටම දැක හික්ෂූන් අමතා, මහණෙනි, අර එන කෝලිත උපතිස්ස දෙදෙනා මගේ අග්‍ර වූ ශ්‍රාවක යුගළය වන්නේයයි වදාරනු ලැබුවා. ඔවුන්ද බුදුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳගත්තා. පසුව මෙසේ දන්වා සිටිය.

 ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි ඔබවහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. එවිට භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, මෙහි එන්නැයි වදාරනු ලැබුවා. ධර්මය මැනවින් දේශනා කර තිබේ. බඹසර හැසිරෙවව්. මැනවින් දුක් කෙළවර කර ගනිව් යයි වදාරනු ලැබුවා. ඒ සියලු දෙනා සෘද්ධිමය ශක්තියෙන් පා සිවුරු දරා වස් සියයක් ගිය තෙරවරුන් මෙන් පෙනී සිටියා.

ඉන්පසු එම පිරිසෙහි සිටියවුන්ගේ චරිතානුකූලව බුදුරජාණන් වහන්සේ දර්මය දේශණා කරනු ලැබුවා. අගසවු දෙනම හැර සෙස්සෝ අරහත්භාවයට පත්වුණා.