අපේ බුදුහාමුදුරුවෝ 338 (සන්තිකේ නිධානය)

 

අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 02

මෙලෙස 337 කොටසෙහි පැවසු පරිදී උපතිස්ස සහ කෝලිත අඹ යහළුවන් දෙදෙනා ‘නොමැරෙන බව’ ගැන සොයමින් හැසිරෙන කල, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව උතුම් දම්සක් පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණිය. ඒ පිරිවැජියෝද, මුළු දඹදිවම ඇවිද ‘නොමැරෙන කෙනෙකු නොලබාම, නැවත රජගහනුවරටම පැමිණියා. ඒ කාලයේම මහණෙනි, බහුජනහිත පිණිස චාරිකාවේ හැසිරෙව් යයි රත්නත්‍රයෙහි ගුණ ප්‍රකාශ කරනු පිණිස පිටත්කර යැවූ සැටක් පමණ වූ රහතුන් අතරෙහි පස්වග තවුසන් ගෙන් එක්නමක්වූ අස්සජි මහරහතුන් වහන්සේ පෙරළා රජගහ නුවරටම වැඩියේ හරියටම අපේ බුදුහාමුදුරුවන්ට සැරයුත් මුගලන් අගසවු දෙනමම සොයලා දෙන්න වගේ. අවුත් දෙවෙනි දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර දෙසට පිඬුසිඟා වඩින්නට පියමැන්නා.

මේ දිනයේම උපතිස්ස සහ කෝලිත යහළුවන් දෙදෙනාද ගුරුවරුන් සොයමින් ගොස් වෙහෙසට පත්ව නැවතත් රජගහ නුවරටම පැමිණ සිටියේ. ඔවුන් මෙහෙම කතා වුනා. යහළු කෝලිතයෙනි, අප අතරින් කවුරු හෝ පළමුව අමෘතපදය (නිවීම) ලදහොත් හෙතෙම අනිත් තැනැත්තා වෙත පැමිණ ඒ බව ප්‍රකාශ කළයුතුය. මෙලස කතිකා කොටගෙන මෙතෙක් කාලයක් එක මග නිවන සොයා ගිය ඔවුන් එතැන් සිට වෙන් වෙන් වශයෙන් යන්නට කතිකා කොට ගත්තා.

 එදින උපතිස්ස පිරිවැජියා උදෙන්ම ආහාර නිමවා පරිව්‍රාජකාරාමයට යන අතරමගදී පිඩු සිඟා වඩින අස්සජි තෙරුන් දුටුවේ හරියට මෙතෙක් සසර පුරාවට ප්‍රර්ථනා කරමින් පැමිණි අගසවු කිරුළ පළඳින මාවත විවිර කරන්නට වගේ.

 උපතිස්ස පිරිවැජියාට අස්සජී තෙරුන් දුටු සැණින් මෙලෙස සිතුනා.

මෙබඳු පැවිද්දෙක් මා මීට පෙර දැක නැත. ලොව රහත් කෙනෙක් හෝ රහත්මඟට පිළිපන් කෙනෙක් හෝ වෙත් නම් මුන්වහන්සේ ඒ අයගෙන් එක් කෙනකු විය යුතුය. මේ භික්ෂුව වෙත ගොස්, ඇවැත්නී, ඔබ කවුරුන්ද, ඔබ කාගේ දහමක් පිළිගන්නෙහිදැයි ඇසුවොත් මැනවැයි සිතූ නමුත් , ඔහුට එවෙලේ මෙබඳු සිතක්ද පහළ වුණා.

ඇතුළු ගමට පිවිස මේ භික්ෂුව පිඬු සිඟයි. මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාවක් නොවෙයි. මා මේ භික්ෂුව පිටුපසින් යායුතුය.

වැඩක් ප්‍රයෝජනයක් කැමති තැනැත්තා ඒ පිළිබඳව උචිත පිළිවෙළද දත යුතුය. ඔහු පිණ්ඩපාතය ලත්තෙරුන් වාඩිවීමට තැනක් සොයන බවදැක තමන්ගේ පරිව්‍රාජකපුටුව ඉක්මණින් උන්වහන්සේට සූදානම් කර දුන්නා. මෙසේ ආචාර්ය වතාවත් කොට වළඳා අවසානයේ තම කෙණ්ඩියෙන් පැන්ද පිළිගන්වනු ලැබුවා.

මෙසේ සියලු වතාවත් කොට වළඳා අවසන් වූ පසු තෙරුන් සමඟ මිහිරි පිළිසදර කථා කොට –

ඇවැත්නි, ඔබේ ඉඳුරන් අතිශයින් ප්‍රසන්නය. සමේ පැහැයද පැහැපත්ය. ඔබ කා ළඟ පැවිදි වූයෙහිද, ඔබේ ගුරුවරයා කවුරුන්ද, ඔබ කාගේ දහමක් ප්‍රිය කරන්නෙහිදැයි? අසා සිටියා. එහෙත් අස්සජි රහතන් වහන්සේ එක්වරම තමා කවුද කියා කිවේ නැහැ. උන්වහන්සේ මෙහෙම හිතුවා. මේ පිරිවැජියෝ අපේ සසුනට ප්‍රතිපක්ෂයහ. මොහුට අපේ සසුනේ ගම්භීරත්වය පෙන්විය යුතුය. මෙසේ සිතා තමන් මේ සසුනට නවකයකු බව දක්වමින් මෙසේ පවසන්නට වුණා

ඇවැත්නි මම නවකයෙක්මි. මේ ළඟදී පැවිදි වූවෙමි. මේ ධර්මවිනයට අලූතෙන් පැමිණියෙක්මි. එහෙයින් ඔබට සවිස්තරව දහම කියා දීමට අපොහොසත් වෙමි.

එවිට උපතිස්ස පරිව්‍රාජකයා හරිම ලස්සන කතාවක් කීවා, මගේ නම උපතිස්ස. ඔබ හැකි තරමින් ටිකක් හෝ හුඟක් හෝ දන්නා තරමින් කියන්න. එය ක්‍රම සීයකින් – දහසකින් තේරුම් ගැනීම මට භාරයි මදක් හෝ බොහෝවක් වේවා, අරුත් පමණක් මට කියා දෙන්න. මට වැඩක් වන්නේ අරුතෙන් පමණි. බොහෝ අකුරුවලින් වැඩක් නැත්මය

මෙසේ කී පසු තෙරණුවෝ ‘යෙ ධම්මා හේතුප්පභවා’ ආදි ගාථාව දේශණා කරනු ලැබුවා. හරිම පුදුමයි. ඒ මහා ප්‍රාඥ වූ අපගේ සාසනයේ ධර්ම සේනාධිපති නමින් පසු කාලයේ හැඳින්වූ මෙකල උපතිස්ස පරිව්‍රාජක තෙමේ ඒ ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියා. ඉතිරි පද දෙක අසන අතරතුර සෝවාන් වී අවසන් වුණා. හෙතෙම සෝවාන් වී සෙසු විශේෂඥාන නොලබන කල්හි මෙහි කුමක් හෝ වෙනත් කරුණක් විය යුතු යයි තෙරණුවන් අමතා මෙසේ කියා සිටියා. ස්වාමීනි, මින් ඉදිරියට දහම් නොදෙසන්න, මෙපමණක්ම ප්‍රමාණය. ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කොහිද? ඇවැත්නී වේළුවනාරාමයේය. ස්වාමීනි, එසේ නම් ඔබවහන්සේ පළමුව වඩින්න. මට තව යහළුවෙක් සිටියි. යමෙක් පළමුව නිවන දුටුවොත් ඔහු අනිකාට දැන්විය යුතුයයි අපේ කතිකාවක් ඇත. මම ඒ ප්‍රතිඥාවෙන් මිදී මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා පිරිවැජි අරම බලා නැවත වඩින්නට වුණා.

උපකාර වූ මුලාශ්‍ර – ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව