අපේ බුදුහාමුදුරුවෝ 332 (සන්තිකේ නිධානය)
බුදුරජාණන් වහන්සේව රජගනුවර තෙක් වැඩම්මවූ ශක්‍ර දෙවිඳු
රජගහ නුවරම එදා මහා මංගල්‍යකට සරෙසෙනවා වගේ අමුතු අසිරියක්. රජගහ නුවර මේ අසිරිය දෙස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත වටවී බලා සිටිනවා වගේ තමයි ඉහල අහසේ සිට බලන කෙනෙකුට පෙනෙන්නේ. බලා සිටිනවා පමණක් නෙවෙයි,. ඒ පර්වත ඇසුරු කරමින් වැඩුන විවිධ වෘක්ෂ ලතාවන් විසින් පරිසරයට මුදා හල විවිධ සවාභාවික සුවඳ වර්ග එනම් මල්සුවඳ, හර සුවඳ, ඵල සුවඳ, පොතු සුවඳ, පතුරු සුවඳ, රස සුවඳ, මුල් සුවඳ, ගෙඩිසුවඳ, පත්‍ර සුවඳ වැනි දස වැදෑරුම් සුවඳ බුදුරජාණන් වැඩ සිටි වැල්මී වනය දෙසට එවන්නත් ඇති.
චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව වැනි මේ සියලුම ස්ථාන මතු අනාගතයෙහි බුදුරජුන් ඇතුළු මහා සංඝ පිරිසට නවාතැන් දෙන්න සුදානමින්.
දෙවැනි දවසෙහි ඒ සියලු ආශීර්වාද මැද මීට පෙර දිනයේ බුදුරජාණන් වහන්සේ දුටු සහ නුදුටු ජනී ජනයා හිමිදිරියේම ලක්ෂගනනින් වැල්මී වනය දෙසට ඇදී එනවා; රජගහ නුවර සිට වැල්මී වනය දෙසට වැටි තිබෙන තුන්ගව් මාර්ගයත් මුළු වනයත් දැන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිහිල්ලා. මහජනතාව බුදු රජුන්ගේ අග තැන්පත් රූ සපුවෙන් යුත් ආත්ම භාවය දැකීමෙන් තෘප්තියට පත්වෙමින් තෙරෙපින් ඒ අසලම රැදෙන්නට පොරකනවා; ඇත්තෙන්ම බුදුරජුන්ගේ රූප සම්පත්තිය ම වර්‍ණනා කටයුතුයි. මෙසේ බුද්ධ ශරීරය බලන්නා වූ මහජනයාගෙන් සියලු ම වැල්මී වනය ද මාර්ගය ද පිරීගිය නිසා එක් භික්‍ෂුවකට වත් යලිත් වනය තුලට ඇතුලු වීමට ඉඩ නො ලැබුනේ නැහැ.. ඒ ජන ගංගාව කෙලෙස වැඩිවෙනවාද කිවොතින් දැන් දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයටත් අනතුරක් විය හැකි ලෙසට සෙනග වැඩිවෙනවා. හරිම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට දානය සඳහා රජගෙදරට වඩින්නට තරම් මාර්ගයේ ඉඩ ඉතිරි වී නැහැ. එවිටම එය එසේ නො වේවා යි ස්වභාවධර්මය විසින්ම සක් දෙවිඳුගේ පඬුඇඹුල් අස්න උණුසුම් කරන්නට පටන්ගත්තා. ඒ සමගම උන්වහන්සේ ඒ කාරණය දැන ඉක්මනින්ම තරුණ වේෂයක් මවාගෙන බුදුරදුන් ට ඉදිරියෙන් අහසින් බිමට බැස්සේ මිනිසුන් මවිත කරමින්. මිනිසුන් භයයි ගෞරවයයි නිසාම පසුපසට යන්නට වුණා. ඒ සමගම ශක්‍ර දෙවියන් ත්‍රිවිධ රත්නත්‍රය පිළිබිඹු වන ස්තුති ගීතිකා ගයමින් දේවානුභාවයෙන් මාර්ගයේ ඉඩ ලබා දෙමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිස වැල්මී වනය දෙස සිට මාළිගාව දක්වා වැඩම කරවන්නට උදවු වුණා
“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ තමා දැමුණු සේක්, දැමුණු පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”
“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ සසරින් එතැර වූ සේක් සසරින් එතැර ව පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”
“දශ විධ ආරිය වාස ඇති, කාය බල ආදී දශ බල ඇති, කුසලාකුසල ආදී දශ ධර්මයන් අවබෝධ කළා වූ, දශ අසේඛ අංගයෙන් යුක්ත වූ, දහසක් සඟුන් පිරිවැරූ බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩි සේක.”
සක් දෙවිඳු මේ ගාථාවලින් බුදු ගුණ වනමින් බුදු රජුන් පෙරටුව ගියා. මහජනතාව තරුණයාගේ රූසිරිය බලා මේ මානවක පෙර අප නුදුටු විරූයැ යි සිතා මොහු කවරෙක්දැ යි කෑගසමින් අසන්නට වුණා . එවිට මානවකයා මෙසේ කිවා.
“යමකු වීර්යයවත් ද සියලු ඉන්ද්‍රියන් විෂයයෙහි දැමුණේ ද බුදු බවට පැමිණියේ ද තමා හට සමාන කෙනකු නොමැත්තේ ද රහත් වූයේ ද මහා වාංමාලාවෙන් යුක්ත ද මම ඒ බුදුන්ගේ සේවකයෙක් වෙමි.”
බුදුන් වහන්සේ සක් දෙවිඳු විසින් ඉඩ ලබා දුන් මගින් මහසඟන පිරිවරන ලදුව රජගහ නුවර දෙසට වැඩියා.
උපකාර වූ මුලාශ්‍ර – සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාජාතක-අට්ටකථාගන්‍ථාරම‍්භකථා
බුද්ධවංශ අට්ටකතා