අපේ බුදුහාමුදුරුවෝ 331 (සන්තිකේ නිධානය)
බිම්බිසාර රජ ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වීම
බිම්සර රජතුමා එක් ලක්‍ෂ විසි දහසක් බමුණන් හා ගැහැවියන් පිරිවරමින් බුදු රජුන් වෙත එලැඹ සක් ලකුණින් විසිතුරු වූ සිරිපා පතුලෙහි රන් සළු වියනක් මෙන් කාන්ති විහිදෙන උන් වහන්සේගේ පාදයන් හිසින් වැටී නැමැද පිරිස් සමග එකත්පසෙව සිටිය.
රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන හොඳින් දැන සිටියත් ඔහු පිරිවරා සිටි බමුණු ගැහැවියන් ඇතුළු රාජ රාජ අමාත්‍යවරු ඇතුළු පිරිසට මේක ප්‍රෙහිලිකාවක්. ඔවුනට මෙහෙම සිතුනා.
ශ්‍රමණ ගෞතමයෝ උරුවේල කස්සපගේ සසුනෙහි සව්වෙක් ද? නො එසේ නම් උරුවේල කස්සප ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි සව්වෙක් ද? ඊට හේතුවක් තිබුණා. මීට පෙර මෙහි සිටි බොහෝ දෙනා ඒ ප්‍රදේශයෙහිම රහතන් වහන්සේලා යැයි සිතා වන්දනාමාන කරේ ඒ පිරිසටයි.
ඒ සැණින්ම බුදුන් වහන්සේ ඔවුන් සිතූ සිතුවිල්ල දැන තෙරුම්ගෙන ගාථා කාණ්ඩයකින් මෙලෙස කස්සප මහා රහතන් වහන්සේ වෙත ප්‍රශ්ණයක් යොමු කළා.
“තම සව්වන්ට අනුශාසනා කරන කස්සපයෙනි, ඔබ කිනම් ධර්මයක් දැන ගිනි පූජාව අත්හලෙහිද? ඔබගෙන් මේ කරුණ අසමි. ඔබ ගිනි පූජාව අත්හලේ කිනම් ධර්මයක් දැන ද?”
කස්සප තෙරණුවෝ ද බුදු රජුන්ගේ අදහස දැනගත්තා. දැනගෙන මේ ගාථාව ප්‍රකාශ කරනු ලැබුවා.
“රූප, ශබ්ද හා රස ද ස්ත්‍රීන් යන ඇලුම් කළයුතු දේ යාගයෙන් ලැබෙතැ යි කියති. මම ඒවා කෙළෙස් මළ වශයෙන් දැන ඒ නිසා ම යාගයෙහි හා ගිනි පූජාවෙහි නො ඇලීමි.”
මෙසේ කෙටියෙන් දුන් පිළිතුර හැමෝටම ග්‍රහණය කරගන්න බැරි බව ඔහු දැන ගත්තා. ඒ සඳහා උන්වහන්සේ ඒ අවස්ථාවෙහි ක්ෂණික පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. ප්‍රථමයෙන්ම තමන් බුදු රජුන්ගේ ශ්‍රාවකයකු බව ප්‍රකාශ කිරීමට බුදුන් වහන්සේගේ පාපුටුවෙහි හිස තබා උන්වහන්සේට නමස්කාර කරමින් මම තථාගතයන් වහන්සේගේ සව්වෙක් වෙමි යි ප්‍රකාශ කොට එකවරම තල් ගසක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. ඉන්පසු
බුදරජාණන් වහන්සේගේ පාමුලට පැමිණෙමින් වන්දනා කරමින් නැවතත් තල්ගස් දෙකක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. මේ ආකාරයට සත්වරක් තල්ගස් සතක් ප්‍රමාණය තෙක් අහසට පැන නගමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මහා ප්‍රර්තිහර්යයක් පාමින් අවසානයේ බැස බුදුන් වැඳ එකත්පසෙව සිටිය.
ඒ පෙළහර දුටු මහජනතාව බුදුවරුන්ගේ බලය අසිරිමත්ය. දැඩි මිසදිටුවකු වූ තමා රහත් වූවේයැ යි වරදවා සිතා සිටි උරුවෙල් කස්සපාදී ජටිලයන්ගේ මිසදිටු දළ බිඳ බුදු රජුන් විසින් දමනය කරන ලදැ යි බුදු ගුණ ගයන්නට වුණා. ඉන්පසු බුදුන් වහන්සේ මෙකල පමණක් නොව පෙර භවයකදීත් උරුවේල කස්සපයන් දමනය කළ බව වදාරමින් මහා නාරදකස්සප ජාතකය ගෙනහැර දක්වා සිව්සස් වදාරනු ලැබුවා.
ඒ ජාතක කතාව ඉතාම ලස්සන බොහෝ ධර්ම කරුණු ඇති සසර බිය දනවන එකක්. ඒ විතරක් නෙවෙයි, එම ජාතක කතාවේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාද දෙව්දත් හිමි ඇතුළු උරුවේලකස්සප තෙරුන් වහන්සේලාද ඉන්නවා. සුවිශේෂී කරුණ තමයි අපේ ආනන්ද හාමුදුරුවෝ ඒ කතාවේ ඉන්නේ මහා පින්වන්ත රුපශ්‍රියෙන් අග තැන්පත් රූජා නම් රාජකුමාරිකාවක් ලෙසයි. කතාව ලස්සන වුනත් දීඝ නිකායේ දේශණයක් තරම්ම දීර්ඝයි. ඒ නිසා නොලීවත් කෙසේ හෝ කියවන්න. ඒ දේශනය කොතරම් ප්‍රභලද කිවොතින් දේශනය අහලා මගධ රජතුමා එකොළොස් නහුතයක් හෙවත් එක් ලක්‍ෂ දශ දහසක් පිරිස සමග සෝවාන් ඵලයෙහි පිහිටියා.වච්ඡපාල බ්‍රාහ්මණ ආදී දශ දහසක් උපාසක බවට පත්වූනා. මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් බවට පත්වුණා. රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූනා . මේ පිරිස අතර සිටි සිටි විශාඛ සිටුද සෝවාන් වුණා කියලා කියනවා.
බිම්බිසාර රජතුමා ඉන්පස්සේ මෙතෙක් තමන් සිතේ සඟවාගෙන සිටි ප්‍රර්ථනා පසක් අද දිනයේදී සම්පුර්ණ වූ බව බුදුරජාණන් වහන්සේ සමග පවසා සිටියේ මහත් වූ ප්‍රීතියෙන්. ඒ පස තමයි.
“තමා රජ වීමත්, ඉන් පසු තමාගේ රටට බුදුරජාණන් වහන්සේ ගේ පැමිණීමත්, උන්වහන්සේ ඇසුරු කිරීමත්, බණ ඇසීමත්, ධර්මාවබෝධය කිරීමත් යන බලාපොරොත්තු පහක්” තමාට තුබුණු බවත් දැන් ඒ මුදුන් පැමිණි බවත් කියා තමා තිසරණ ගත උපාසකයකු බව වචනයෙන් ද දන්වා පසු දා දානයට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියා .
උපකාර වූ මුලාශ්‍ර –
සන්තිකෙනිදානකථා
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් විසින් රචිත ගෞතම බුද්ධ චරිතය