අපේ බුදුහාමුදුරුවෝ 33
දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ
මංගල බුදුරජාණන් වහන්සේ 06
ඉතාමත් ශාන්ත වූ ඉන්ද්‍රියන් ඇති දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අග තැන්පත් දිවා රාත්‍රී දෙකෙහිම සුර්යයා මෙන් ශරීර ආලෝකය විහදවූ මංගල බුදුරජුන් ඇතුළු කෙළ ලක්ෂයකට වැඩි භික්ෂු පිරස ඉතාමත් ශාන්ත වූ ගමනින් ඒ මහා මණ්ඩපය මතට වැඩම කොට තමනට සුදුසු අසුන්වල අසුන් ගන්නට වුනා. මුහුදෙහි රළ ගණින්ට යම්සේ නොහැකි වෙත්ද, එසේම උන්වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ ගණින්ට නොහැකි වුනා. කොතරම් භික්ෂුන් වහන්සේලා වැඩියේද යත් ඒ දොළොස්කෙලක් භූමියද සක් දෙවිඳු සෑදු මණ්ඩපද ඒ භික්ෂූන් වහන්සේලා හට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ වුනත් ඒ මහා සෘධි සම්පන්න රහතන් වහන්සේලාට එය ප්‍රශ්නයක් වුනේම නැහැ. බොහෝ රහතන් වහන්සේලා සෘද්ධියෙන් අහසේ අසුන් ගත්තා.
අප මහා බෝසතාණන් ඇතුළු මහා පිරිස බුදුන් ඇතුළු සංඝ පිරිසට ගවපාන දානය පුජා කරන්නට වුනා. මෙයට චතුමධුර භෝජනය කියලත් කියනවා. ඒ කෝටිගණනක් වූ සංඝ සමුදුරට මිනිසුන්ට දානය බෙදා ඉවර කරන්න බැරි වුනා. ඒ නිසා දානය පුජා කිරීමට මිනිසුන් අතරට දෙවියනුත් එක් වුනා. මෙලෙස දින හතක්ම දෙවියන් මිනිසුන් එකතුව දන් පිළිගන්වා ඒ කටයුතු නිමා කරනු ලැබුවා. අවසාන දිනයේ සියලු භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු මීපැණි ආදිය පුරවා තුන් සිවුරුද සමග පුජා කළා. එහිදී හැමටම වඩා බාලම භික්ෂුව ලබන ලද සිවුරුපිළිය පමණක් ලක්ෂයක් වටිනාකමින් යුක්ත වුනා. බුදුන් ඇතුළු අන් අය ගැන කුමන කතාද?
සියලු දාන කටයුතු නිමවුවායින් පසුව පුණ්‍යානුමෝදනාව සඳහා මංගල බුදුරජාණන් වහන්සේ මෙවැනි මහේශාක්‍ය දානයක් දීමට තරම් මොහු කවර පුද්ගලයෙක්ද එයින් ලැබෙන කුසල විපාක මොනවාද යැයි දිවැසින් බලන්නට වුනා. මතු දෙයාසංඛ්‍ය කල්පලක්ෂයකින් ගෞතම නම් බුදුවරයායයි දැක බෝසතුන් අමතා ඔබ මෙතෙක් කල් ගෙවා ගෞතම නමින් බුදුවන්නේ යනුවෙන් තුන්වන නියත විවරණය දෙනු ලැබුවා !!! දෙවියන් මිනිසුන් සාදු කාර දෙනු ලැබුවා. එය දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට පැතිරුනා. මගඵල නොලත් දෙවු මිනිසුන් යම් විදිහකින් අපහට මේ සාසනයේ ධර්මය අවබෝද කිරීමට නොහැකි වුණහොත් දැන් ගෞතම සාසනයේ එය කරගත හැකි වෙතයි සැනසුම් සුසුම් හෙලමින් අධිෂ්ඨාන කරනු ලැබුවා. දෙතිස් මහා පෙරනිමිති ලොවෙහි නැවතත් පහල වුනා. නා නා විදි මල්වර්ග දෙවියන් විසින් විසිරන්නට වුනා. එය අසා අප බෝසතුන් වහන්සේ මහත් වූ චිත්තප්‍රීතියෙන් මම බුදුවන්නෙමි. මට ගිහිගෙයි විසීමෙන් කම් නැත. පැවිදි වෙමියි සිතා ඒසා සම්පත් කෙළ පිඬක් සේ හැරදමා බුදුන් වෙත පැවිදිව බුදු වදන් ඉගෙන අභිඥා ද අටසමවත් ද උපදවා නොපිරිහුණු දැහැනින් ආයු තාක් සිට බඹලොව උපන්නා.
මංගල බුදුහාමුදුරුවන්ගේ නගරය උත්තර නම් වුනා. උන්වහන්සේගේ පියා උත්තර නම් ක්‍ෂත්‍රිය රජෙක්.මවගේ නමත් උත්තරා. සුදේව ධම්මසේන දෙනම අගසවුවන්. උපස්ථායක පාලිත නම් වුනා. සීවලා අශෝකා දෙනම අග්‍රශ්‍රාවිකාවෝයි. නරුක බෝධියයි. ශරීරය අටඅසූ රියනක් වුනා. ආයුෂ අවුරුදු අනූදහසක්. යසවතී භාර්යාව වුනා. සීලව නම් පුත්‍රයායි. අස් යානයෙන් නික්මුණා. උත්තරාරාමයෙහි වාසය කළා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය බව සනාථ කරමින් උන්වහන්සේත්ව වසර අනුදහසක් ආයුෂ වළඳා පිරිනිවන් පානු ලැබුවා. හරිම පුදුමයි. දසදහසක් සක්වළ එක්වරම අන්ධකාර වුනා. වසර අනුදහසක් රෑ දහවල් නොමැති ලෝකවල නැවතත් දිවා රැය විද්‍යාමාන වුනා. කෙලෙස් සහිතයන්ගේ මරණයට සංකිලෙස මරණය කියලා කියනවා. එහෙත් ඒ කාලේ බුද්ධශ්‍රාවකයන් අතර සංකිලෙස මරණ තිබුනෙම නැහැ. බෝසතාණන් වහන්සේ හැරෙන්නට සියලුම ශ්‍රාවකයෝ පිරිණිවන් පෑවේ රහත් වෙලා. ඒ මංගල භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සකළ සක්වළ මිනිසුන්ගේ මහත් ඇඩිම් වැළපීම් වලට හේතුවුනා. තවත් බුදුවරයෙකුගේ සමුගැනීම එලෙස සිදුවුනා.