අපේ බුදුහාමුදුරුවෝ 326 (සන්තිකේ නිධානය)

 

අපට යන්න අවසර නැති අනෝතත්ත විල

මින් පෙර ලිපියෙහි කියූ පරිදී අප මහා කාරුණිකයන් වහන්සේ අපගේ මවු බිමට ප්‍රථමවතාවට පැමිණීමට පෙර අති රමණීය වූ ඉතාමත් පුණ්‍යවන්ත මිනිසුන්ගෙන් පිරිපුන් වූ උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සදහා වැඩම කරනු ලැබුවා. දැන් උන්වහන්සේ එම පිණ්ඩපාත දානයත් සමග ලොවෙහි ඇති අති රමණීය විල වන අනවතප්ත විල වෙත වැඩම කරනු ලැබීමට නියමිතයි. . ඒ පැන්පහසුවිමට සහ දානය හුදකලාව වැළඳීමට. උතුරුකුරු දිවයින වගේම අනවතප්ත විලත් මිනිසුන්ට විද්‍යමාන වන්නේ නැහැ. එහෙත් ඒ සිමමායින් බුදු පසේබුදු අරහතුන් වහන්සේලාටත් අදාළ වුනේ නැහැ. ඉතින් මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ අදෘශ්‍යමාන භූමිය, විල සහ ඒ විලෙහි පරිවාර විල් පර්වත ගංගා ගැන සුළු විස්තරයක් මා හට ලද මුලාශ්‍ර අනුසාරයෙන් ඔබ හට ගෙනේමටයි. මේ එම නදීන්ගේ මුලපටන් උත්පත්ති කථාවයි.

අද අප දන්නා දඹදිව නෙවෙයි එකල දඹදිව යනුවෙන් හැඳින්වුයේ. එදා දඹදිව යොදුන් දසදහසක් පමණ විශාල වනවා කියනවා. එහි යොදුන් හාරදහසක් ප්‍රමාණ ප්‍රදේශය ජලයෙන් වසාගෙන පැතිර සිටියේ. ඒකාලේ තුන්දහසක් යොදුන් ප්‍රමාණයෙහි මිනිස්සු වාසය කරනු ලැබුවා. තුන් දසක් යොදුන් ප්‍රමාණ සීමාවෙහි හිමවත පිහිටියා. එය උසින් යොදුන් පන්සියයක් ප්‍රමාණ වන අතර අසූහාර දහසක් පර්වත වලින් යුක්ත වුණා. හාත්පසින් ගලාබසින පන්සියයක් නදීන්ගෙන් විසිතුරු වූ එම පෙදෙසෙහි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස්යොදුන් ප්‍රමාණ වූ, යොදුන් එකසිය පනහක් පමණ වටවූ අනවතප්ත විල, කණ්ණමුණ්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුනාල විල, මන්දාකිනී විල, සිංහ ප්‍රපාත විලයැයි සප්ත මහා විල් පිහිටිය. මෙයින් ඡද්දන්ත විලගැන ලස්සන විස්තරයක් මෙම ලිපි පෙලෙහිම කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ගැන ලියූ ලිපියෙහි තිබෙනවා. ඉතින් ඒවා අතර අනවතප්ත විල, සුදර්ශන, චිත්‍රකූට, කාලකූට ගන්‍ධමාදන, කෛලාස කූටයයි යන මෙම පර්වත කූටයන්ගෙන් වටකරන ඉන්නේ. හරියට ආරක්ෂක වළල්ලක් වගේ.

ඒ ඒ පර්වත සෑදී තිබුනේ ලෝකයේ ඇති ඉතාමත් වටිනා විරළ පාෂාණ වලින්. එහි සුදර්ශන කූටය ස්වර්ණමය වූනා. යොදුන් තුන්සියයක් උස්වූණා. ඇතුළත කපුටුමුව සටහන් ඇතිව එම විලම වසා සිටිය. චිත්‍රකූටය සත්රුවනින්ද කාලකූටය අජනමනද, – ගන්‍ධමාදන කූට මැසිරිගල් වලින්ද,, ඇතුලත මුං ඇට වර්ණනද වර්ණවත් වුණා .

ඒ එක්කම ඒ පරිසරයේ සුළග හා මුසු වී විවිධ සුවඳ වර්ග දහයක් ගලාගෙන ආවා. ඒවා නම් මුල් සුවඳ, හර සුවඳ, ඵල සුවඳ, පොතු සුවඳ, පතුරු සුවඳ, රස සුවඳ, මල්සුවඳ, ගෙඩිසුවඳ, පත්‍ර සුවඳද යන මෙම දසවැදෑරුම් සුවඳයි. ඒ වගේම ඒ භුමි භාගය නොයෙක් ආකාර ඖෂධයන්ගෙන් වැසී තිබුණා. එහි ඇති කළුවර පස පොහෝදින දල්වන ලද්දාක් මෙන් අඟුරු දැල්වෙමින් රාත්‍රිය එලිය කර සිටියා. කෛලාසකූට පර්වතය රිදී මුවාය. ඒ සියල්ලම සුදර්ශන කූටය හා සමාන උස හා සටහන් ඇතිසේ එම විල වසා සිටිය. එමෙන්ම එහි දේවානුභාවයෙන්ද නාගානුභාවයෙන්ද වැසී වැටුණා. ගංගා ගලාගෙන ගියා. එම සියලුම දිය අනවතප්ත විලටම පිවිසියා. සඳ හිරු දකුණින් හෝ උතුරින් හෝ ඒ පර්වත අතරින් යමින් විල ආලෝකමත් කරනු ලැබුවා. එසේ නැතිව සෘජුව විල මතින් යාමක් කරනු ලැබුවේ නැහැ. එබැවින් විලෙහි වතුර රස්නෙත් සීතලත් වුනේ නැහැ. ඒ අතරම රැඳුනා. ඒ නිසාම මෙයට අනෝතත්ත යන නම ව්‍යවහාරය හිමිවුණා.

එහි රත්නමය මනොඥ හිනිමං වැනි ගල්තලාවන්ද, මස් කැසුබුවන් නැති, නිර්මල පළිඟුවන් දියෙන්ද, සමන්විත වුනා. එය පරිභෝග කරන සත්ත්වයින් ඔවුන්ගේ කර්ම ශක්තියෙන්ම එහි උප්පත්තිය ලැබුවා. එහි ස්නානය සඳහා තොටුපලවල්ද පැවතියා..එවැනි තොටුපලවල යම්තැනක බුදු පසේබුදුවරු, සෘද්ධිමත් ශ්‍රාවකවරු-සෘෂීහු ස්නානාදීන් කරයිද කිරීමට සුදුසුද? දිව්‍ය යක්‍ෂාදීහුද ජලක්‍රීඩා කරයිද, එවැනි තැන්වල සතර දිශාවන්හි සිංහ මුව, ඇත් මුව, අස් මුව, වෘෂභ මුව යන සතුන්ගේ මුවෙන් දිය දහර පොකුණට එක්වෙන නිර්මාණ සැදී තිබුණා. ඒ ඒ දිය දොරටු එම සතුන්ගේ නම් වලින්ම හඳුන්වනු ලැබුවා. ඊට හේතුව ඒවා සමීපයෙහි නිතර පිළිවෙලින් සිංහ, ඇත්, අස්, හා වෘෂභ පිරිස් ගැවසෙන නිසා කියලා කියනවා.. පෙරදිගින් නික්මුන නදිය අනවතප්ත විල තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට අනෙක් තෙනදීන්ට මුසුනොවී පැසුළු හිමවතින්ම නොමිනිස් පෙදෙසට ගොස් මහා සමුද්‍රයට පිවිසියා. පැසුළු දිගින්ද, උතුරු දිගින්ද නික්මුණු නදීහුද එසේම ප්‍රදක්‍ෂිණා කොට පැසුළු හිමවතින් හා උතුරු හිමවතින්ම නොමිනිස් පෙදෙසට ගොස් ඒ අතරින් මහා සමුද්‍රයටම පිවිසියා

දකුණු දෙසින් නික්මුණු නදියක් එය තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට දකුණින් සෘජුව ගල් මතුපිටින්ම සැටයොදුනක් පමණ පැමිණ පර්වතයට මතින් නැගිට මහත් වූ වූ දිය දහරාවක්ව අහසින් සැටයොදුනක් ගොස් තියග්ගල නම් ගල මතට වැටෙනවා. එතරම් විශාල උසකින් වැටෙන ඒ ජල කඳෙහි වේගය බිඳුණු ලබන්නේ ඒ තියග්ගල ගල් පර්වතයයි. ගලේ උපකාරයෙන් දිහ දහරාවේ වේගය බිඳුන ජලකදෙන් පනස්යොදුන් පමණ ප්‍රමාණ වූ තියග්ගල නම් මහ පොකුණක් හට දන්නවා. ඒ පොකුණෙහි ඉවුර බිඳමින් පැමිණෙන දිය දහර සැටයොදුනක් ගොස් වින්ධ්‍යා නම් තිරිසන් පර්වතය අතුරින් අත්තැල පසැඟිලි සමාන ධාරා පහකට මුල පුරනවා. එය තෙවරක් අනවතප්ත විල ප්‍රදක්‍ෂිණාකොට ගියතැනට , ආවර්ත ගංගාවයැයි ද සෘජුව ගල මත්තෙන් සැටයොදුනක් ගිය තැන කෘෂ්ණ ගඟ යැයිද. අහසින් සැටයොදුනක් ගිය තැන අහස ගඟය යනුවෙන්ද. තියග්ගල පහන්හි පනස් යොදුන් අවකාශයෙහි සිටියේ තියග්ගල පොකුණෙහි ඉවුර බිඳ ගලට පිවිස සැටයොදුනක් ගියතැන ඝණ ගඟ යැයිද, උමගින් සැටයොදුනක් ගිය තැන උමං ගඟයි යැයිද යනුවෙන් විවිධ නම්වලින් එකම දිය දහර හඳුන්වනු ලබනවා. වින්‍ධ්‍යා නම් තිරිසන් පර්වතය පසුකර ධාරා පඤ්චකයක්ව පැවැති තන්හි, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යැයි පස් ආකාරයකට ශාඛා බෙදී යනවා. මෙසේ එම පංචමහා නදීහු හිමවතින් පැවතෙන බව පවසනවා. ඒ සමගම ඒ පෙදෙසටම අයත් දිව්‍ය දිව්‍යාංගනාවන්ගෙන් සැකසුණු දේව නිකායක් තියෙනවා කියනවා. ලතා විමාන වස්තු වර්ණනාවෙහි ඒ දේව සභාවෙහි පවත්වනු ලැබූ සුවිශේෂ රංගනයක ලස්සන විස්තරයක් සඳහන් වෙනවා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ එදා මහියංගනයට වැඩීමට පෙර පැන් පහසුවෙලා පිණ්ඩපාත දානය වැළඳුවේ ඔන්න ඔය අති ප්‍රසන්න සුන්දර පරිසරයේ. ඔබටත් යන්න හැකියි. ඒ සතරවෙනි ධ්‍යානයට සිත ගෙනයාමෙන්.

උපකාර වූ මුලාශ්‍ර –

කුදුගත් සඟිය අටුවාවඋදාන අටුවාවසොණ වර්ගය -උපොසථ සූත්‍ර වර්ණනාව

මැදුම් සඟිය අටුවාවමජ්ඣිම පණ්ණාසකය අටුවාව ගහපති වර්ගය – පෝතලිය සූත්‍ර වර්ණනාව