අපේ බුදුහාමුදුරුවෝ 324 (සන්තිකේ නිධානය)
බුදුවරුන් අත්නොහළ ලක්බිම
අපේ බුදුරජාණන් වහන්සේට පෙර අපේ හෙළ දිවයිනට බුදුරජාණන් වහන්සේලා තුන්නමක් වැඩි බව ත්‍රිපිටකයේ විනය අට‍්ඨකථාවේ සඳහන්. ඒ මේ ආකාරයට.
කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ අපගේ හෙළබිම ඔජදීප නමින් හැඳින්වුයේ. ඒ කාලයේ ඔජදීපයෙහි සත්ත්‍වයෝ මහා උණ රෝගයකින් විපතට පත්වෙලා සිටියේ. හරියටම අද කොරෝනා වියසනය වගේ. බොහෝ මිනිසුන් මැරෙන්නට ඇති. කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරණ සේක් විපතටපත් ඒ සත්ත්‍වයන් දකිනු ලැබුවා. දැක මහත් කරුණාවෙන් මේ අපගේ මාතෘ භූමියට වැඩම කරනු ලැබුවා. වැඩම කරනු ලැබුවේ තනිව නෙවෙයි. උන්වහන්සේගේ ශ්‍රාවක මහාදේව නම් මහාස්ථවිරයන් වහන්සේ සහ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ ඇතුළුව තවත් සතළිස්දහසක් භික්‍ෂූන්ගෙන් වහන්සේලා පිරිවරාගෙන. ඒ කාලේ රජකම් කරනු ලැබුවේ අභය කියලා රජ කෙනෙක්. උන්වහන්සේ වැඩිය නුවර අභය පුර නමින් හැඳින්වුයේ. උන්වහන්සේගේ ආනුභාවයෙන් එකෙණෙහිම ඒ උෂ්ණ රෝගය සන්සිඳී ගියා . රෝගය සන්සිඳී ගිය පසු භාග්‍යවතුන් වහන්සේ ධර්‍ම දේශනා කරනු ලැබුවා. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වුනා කියනවා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැසියනට පුදන්නට ඩබරාව (පෙරහන්කඩ) දී පෙරළා වැඩම කරනු ලැබුවා. එය ඇතුළත බහා පටියාරාමයෙහි ( මෙකල ථූපාරාමයෙහි ) සෑයක් ඉඳිකරවනු ලැබුවා. මහාදෙව මහාස්ථවිරයන් වහන්සේ දිවයින් වැසියන්ට අනුශාසනා කරමින් මෙම පින්බිමෙහිම වැඩසිටියා.
කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි අපේ පුංචි දිවයින වරදීප නමින් හැඳින්වුවා. රජතුමා සමිද්ධි නම් වුනා. වැඩි නුවර වඩ්ඪමාන නමින් හැඳින්වුණා. පවුව සුවණ්ණකුට නම් වුනා. ඒ කාලයෙහි වරදීපයෙහි නපුරු වැසි වැටුන. එයින්ම දුර්භික්‍ෂයක් ද දුශ්ශස්‍යයක් ඇතිවුණා. මෙහි සත්ත්‍වයෝ ඡාතක රෝගයෙන් විපතට පත්වුනා. කොණාගමන භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට පත් ඒ සත්ත්‍වයන් දැක තිස්දහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරන ලද්දාහු මෙහි භූමියට වැඩම කරනු ලැබුවා. බුද්ධානුභාවයෙන් පහල වූ මෙඝය මැනවින් දියදහර භූමිය පුරා මුදාහැරිය. දිවයින සුභික්‍ෂ වුනා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්‍මදේශනා කරනු ලැබුවා. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූනා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොටැති මහාසුමන ස්ථවිරයන් වහන්සේ මෙහි නවතා කාබාහන දී නැවත පෙරළා වැඩම කරනු ලැබුවා. එය, ඇතුළත බහා මිනිසුන් විසින් සෑයක් ඉදිකරනු ලැබුවා.
කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මේ දිවයින මණ්ඩදීප නම් වුණා. රජතෛමේ ජයන්ත. ඒ නුවර නුවර විශාල නමින් තමයි හැඳින් වුනේ. ඒ කාලයෙහි මණ්ඩදීපයෙහි මහා විවාදයක් ඇති වුනා. බොහෝ සත්ත්‍වයෝ කලහ කෝළාහල කරමින් විපතට පැමිණියා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට වැටෙන ඒ සත්ත්‍වයන් දුටුවා. දැක, විසිදහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරමින් මෙහි වැඩමකොට විවාදය සන්සිඳුවා ධර්‍මදේශනා කරනු ලැබුවා. එහිදී සුවාසුදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වුණා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොට ඇති සබ්බනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ මෙහි නවතා දියසළුව දී පෙරළා වැඩම කරනු ලැබුවා. එය, ඇතුළත බහා රට වැසියන් විසින් සෑයක් ඉඳිකරනු ලැබුවා.
ඉතින් බලන්න මේ පුංචි දිවයින කිසිම බුදුවරයෙකු විසින් අත්නොහළ දිවයිනක් වගේ. හැම දුකකදිම බුදුවරුන්ගේ පිහිට ලැබුණු දිවයිනක් වගේ. ඒ තරම්ම අනුග්‍රහයක් මේ පින්වන්ත දිවයිනට බුදුවරුන්ගෙන් තිබුණා. දැන් අපේ බුදුහාමුදුරුවෝ, උන්වහන්සේටත් මෙම පුණ්‍යවන්ත භූමියට වඩින්න සිත පහල වෙලා. හරියටම ලෝක ධර්මතාවයක් වගේ. දැන් කියන්න යන්නේ ඒ ගැන. සෑම බුදුවරයෙකුම ස්පර්ශ කල පුණ්‍යවන්ත භුමියට අපේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම වැඩම කිරීමේ පුවත ගැන.
මුලාශ්‍ර – විනය පිටකය – පාරාජිකකණ‍්ඩ- තතියසඞ‍්ගීතිකථා