අපේ බුදුහාමුදුරුවෝ 323 (සන්තිකේ නිධානය)
උරුවේලකාශ්‍යප ජටිල දමනය 14
ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 02
ඉතින් මීට පෙර කියූ පරිදී කුමරවරුනට වරයක් දීපු රජතුමා අවසානයේදී කුමාර වරුන්ගෙන් වරයක් ඉල්ලන තරමටම අසරණ වුණා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට අවරුදු සතකුත් මාස සතකුත් දින සතකුත් ඉල්ලපු රජතුමාට හිමිවුණේ දින හත පමණයි. ඔහුට ඇත්තටම ඕන වුනා ඒ අවුරුදු හතේදීම බුදුන් වෙනුවෙන් කරන්නට සැලසුම් කලදේ අවසානයේ දින හතෙන් සිදු කරන්න. ඔහු ඉක්මනින්ම වැඩ ආරම්භ කරනු ලැබුවා.
ඔහු මුලින්ම කරනු ලැබුවේ පුතුන් වසනා තැනට ශාස්තෲන් වහන්සේ වැඩම කරවීමට අට ඉස්බක් පළල්වූ මාර්ගයක් සාදා එය අලංකාර කරවීමයි. මාර්ගයේ මැද සිවු ඉස්බක් පමණ වූ පෙදෙස ඇතුන් ලවා පාගවා කසිණ මණ්ඩලයක් මෙන් සිනිඳු කොට වැලි අතුරවා මල් විසිරවනු ලැබුවා. ඉන්පස්සේ ඒ ඒ තැන්හි කෙසෙල් ගස් ද පුන්කුඹු ද තබවා ධ්වජ පතාක ඔසවුන් ලැබුවා. ඉස්බක් පාසා පොකුණු කරවනු ලැබුවා. . පසු කොටසෙහි දෙපස සුවඳ මල් දම් විකුණන අවන්හල් සකස් කෙරවුවා. මධ්‍යයෙහි සිවු ඉස්බක් වූ අලංකාර කළ මාර්ගයේ දෙපස ඉස්බ දෙක බැගින් පුළුල් වූ මාර්ග තීරුවල කුණු, මුල් හා කටු ඉවත් කරවා දඬුවැට පහන් කරවූවා. රාජ පුත්‍රයෝ ද තමන්ගේ අණ පවත්නා තන්හි සොළොස් ඉස්බක් වූ මාර්ගයෙහි එසේ ම අලංකාර කටයුතු කරවුණු ලැබුවා.
ඉන් පස්සේ තියෙන්නේ දුක හිතෙන කතාවක්. රජතුමා තමාගේ අණ පවත්නා ක්ෂේත්‍ර සීමාවට ගොස් ශාස්තෲන් වහන්සේට නමස්කාර කොට වැළපෙමින් “දරුවනි, ඔබ මාගේ දකුණු ඇස උපුටා ගන්නාහු මෙන් යන්නහුය. මෙසේ රැගෙන යන්නාවූ ඔබ වනාහී බුදු රඳුනට සුදුසු දෙයම කරව්. සුරා සොඬුන් මෙන් ප්‍රමාද වී වාසය නොකරවු”යයි අඬමින් කියා සිටියා.
ඔවුන් “දේවයන් වහන්ස, බියවීමට කරුණක් නැත. අපි සුදුසු දෙයම දන්නෙමු” යයි කියා රජතුමාගේ බිය පහකොට ශාස්තෲන් වහන්සේ කැඳවා ගෙන ගොස් විහාරයක් කරවා එය උන්වහන්සේ හට පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාහට අඩුවක් නැතිව දානමාන කටයුතු වලින් සංග්‍රහ කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් තිදෙනාම වෙන් වෙන් වශයෙන් එහි උන් වහන්සේ පිළිදැඟුම් කරන්නාහු කලෙක ස්ථවිරාසනයෙහි ද, කලෙක මධ්‍යමාසනයෙහි ද. කලෙක සංඝ නවක ආසනයෙහි ද සිටිමින් දානය පරීක්ෂා කර බලන්නටත් වුණා. තිදෙනාට ම දානය එක සමාන වුණා. කිසි තැනක වෙනසක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. වස් එළඹීම ආසන්න වූ කල්හි ඔව්හු ශාස්තෲන් වහන්සේගේ අදහස කෙසේ දැන ගන්නෙමුදැයි සිතන්නට වුණා. ඉන්පසු ඔවුන් හට “බුදුවරු වනාහී ධර්මය ගරු කරන්නාහුය, ආමිස ගරු කරන්නාහු නො වෙති, සීලයෙහි පිහිටා අපි ශාස්තෲන් වහන්සේගේ අදහස දැන ගැනීමට හැකි වන්නෙමු” යයි සිත් ඇතිවුණා එතැන් සිට දාන කටයුතුවල සංවිධායක මිනිසුන් කැඳවා” දරුවනි. මේ ආකාරයෙන් ම කැඳ, බත්, කෑ යුතු දේ ආදිය සපයමින් දානය පවත්වමු” යයි කියා දාන සංවිධාන කටයුතුවල දෝෂයන් ඇතිවියහැකි ඇති ස්ථාන අවස්ථා නැති කරනු ලැබුවා.
ඉන්පස්සේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා පන්සියයක් පුරුෂයන් රැගෙන දස සිල්හි පිහිටා කාෂාය වස්ත්‍ර යුගලයක් හැඳගෙන කැපවූ ජලය පරිභෝජනය කෙරෙමින් බුදුන් ඇසුරෙහි වාසය කළා. මධ්‍යම සහෝදරයා තුන් සියයක් පුරුෂයන් ද කණිෂ්ට සහෝදරයා දෙසියයක් පුරුෂයන් ද සමඟ දෙටු බෑයන් සේම පිළිපැද්ද ඔව්හු දිවි ඇති තෙක් ශාස්තෲන් වහන්සේට උවටැන් කළා. ශාස්තෲන් වහන්සේත් ඔවුන්ගේම සමීපයෙහි පිරිනිවන් පානු ලැබුවා.
ඒ සොහොයුරෝ ද කළුරිය කොට එතැන් පටන් ද අනු කපක් තුළ දෙව්ලොවින් මිනිස් ලොවට ද, මිනිස් ලොවින් දෙව්ලොවට ද සැරිසරමින් අපගේ ශාස්තෲන් වහන්සේගේ කාලයෙහි දෙව්ලොවින් චුතව මිනිස් ලොව උපත ලැබුවා. ඔවුන්ගේ දන් දුන් තැන නිවේදකයා වු මහ ඇමතිවරයා අඟු මගද දෙරටෙහි රජ වූ බිම්බිසාර නමින් උපන්න. ඒ කුමරුවෝ එම රජුගේම රටෙහි බමුණු මහසල් කුලයෙහි උපන්නා. ජ්‍යෙෂ්ඨ සහෝදරයා ජ්‍යෙෂ්ඨවම ද, මධ්‍යම කණිෂ්ට සහෝදරවරු මධ්‍යම හා කණිෂ්ටයන් ම වී උපන්නා. ඔවුන්ගේ යම් පිරිවර මනුෂ්‍යයෝ වූවාද ඔව්හු ඔවුන්ගේ පිරිවර මිනිසුන්ම වී උපන්නා. ඒ ප්‍රධාන තිදෙනා වැඩිවියට පැමිණ ඔවුන්ගේ දහසක් වූ පුරුෂයන් ද රැගෙන නික්ම තවුසන් වී උරුවේලා ගං තෙරෙහි වාසය කළා. අංග මගධ වාසීහු මසක් මසක් පාසා ඔවුන් හට මහත් වූ සත්කාර ද්‍රව්‍යයන් ගෙන එනු ලැබුවේ පුරාණ ආත්ම භාවයේ දන් දුන් පිනටම වෙන්න ඇති.
අන්න ඒ නිසා තමයි අපේ බුදුහාමුදුරුවෝ ඒ අයව හොයාගෙන ඇවිදින් ඔවුනට දහම අවබෝධ වනතරු මහත් වූ ඉවසීමෙන් වැඩ සිටියේ.
මුලාශ්‍ර – සුත‍්ත අට‍්ඨකථා-සංයුත‍්තනිකාය – සළායතනසංයුත‍්තය – සබ‍්බවග‍්ගය -ආදිත‍්තපරියායසුත‍්තවණ‍්ණනාව