අපේ බුදුහාමුදුරුවෝ 316 (සන්තිකේ නිධානය)
උරුවේලකාශ්‍යප ජටිල දමනය 07
හිරු දෙවියන් පිදීම සහ ගිනි දෙවියන් පිදීම ඉන්දියාවේ තාපසයන් අතර කල්පගනනාවක සිට පැමිණි චාරිත්‍රයක් කියා පෙනෙන්නේ ජාතක කතා අට්ට කතා කියවීමේදී. අපේ බෝසතාණන් වහන්සේත් තපස් පැවිද්දෙන් සිටි අතීත අත්මභාවයන්හිදී එම චාරිත්‍ර පිළිපැද තිබෙන බව ඉදිරි ලිපිවලින් සමහරවිට ඒ ඒ අවස්ථානුකුලව ඔබට කියවන්නට ලැබේවි. මේ කියන්නට යන සිද්ධියත් එවැන්නක්. ඒ උරුවෙලකස්සප ජටිල තවුසා සහ ඔහුගේ පිරිසගේ ගිනි දෙවියන් පිදීම සම්බන්ධව.
අවිද්‍යා අන්ධකාරයෙන් අතරමං වුන මෙම පිරිස දමනය කරගැනීමට බුදුරජාණන් වහන්සේ තවමත් උරුවෙලෙහිම වැඩ සිටිනවා. මේ අය එදින ගිනිදෙවියන් පිදීම පිණිස ගිණිමැල ගැසීම සඳහා සැරසිලා. ගිනි මැලයක් නෙවෙයි. ගිනිමැල පන්සියයක්වත් ඕනේ පිරිස වැඩි නිසා. ඒත් ඒ සඳහා දරත් එපැය. ගිනිමැල පන්සියය සඳහා දර කොටන් පන්සියයක් ගෙනවිත් පලන්නයි දැන් ලැහැස්ති වෙන්නේ. එහෙත් එය පහසු දෙයක් නෙවෙයි. වෙහෙස කාරී දෙයක්. එදා හැමෝම එක්වෙලා දර කොටන් පලන්න පටන්ගත්තා. හරිම පුදුමයි. පලනවා, පලනවා ඒත් එක කොටයක්වත් පැලෙන්නේ නැහැ. දැන් හැමෝටම වෙහෙසයි. උරුවෙලකස්සප ට මෙහෙම හිතුනා. මෙය අර මහශ්‍රමනයා ගේ අනුභාවයෙන් වෙන දෙයක්ද දන්නේ නැහැ. ඔහු තවමත් භාග්‍යවතුන් වහන්සේව අමතන්නේ මහා ශ්‍රමණයා කියලා. ඒ සිතිවිල්ල ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේට ඒ බව පෙනුණා. උන්වහන්සේ ඔහු වෙතට පැමිණ “කාශ්‍යපය, දර පැළෙන්නේ නැද්ද දැ?” යි විමසා සිටියා. . ජටිලතෙමේ ද “මහාශ්‍රමණය, දර පැළේන්නේ නැහැ නොවැයි ” ය කියා සිටියා. පැලීමට අවශ්‍යනම් එය කල හැකියි. භාග්‍යවතුන් වහන්සේ පවසා සිටියා. මහාශ්‍රමණය එය කල හැකිනම් ලොකු දෙයක්. කස්සප තාපසයා පවසා සිටියා. තවත් ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ ඒ දර කොටන් දෙස බැලූ කල්හිම එකවර ම දරකොටන් පන්සියයම ගිණි දැල්වීමට අවශ්‍ය ආකාරයට පැළී ගියා. ඔහු විමතියට පත්වුනත් පසු බැස්සේ නැහැ. ආයෙත් පරණ සිතිවිල්ලේම එළඹ ගත්තා. “යමකුගේ අනුභාවයෙන් දර නො පැළෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ය.
සියල්ලම ලෑස්තියි. ජටිලයෝ ගිනි පුදනු කැමැත්තෙන් රැස්වෙලා. දැන් ගිනිතබන වෙලාවයි. ඊට නියමත අය දර ගොඩට ගිණි තිබ්බත් හරිම පුදුමයි එක කොටයක්වත් ඇවිලෙන්නේ නැහැ. කස්සප තුමාට මෙහෙම සිතිවිල්ලක් පහල වුණා .
“යම් සේ අපි ගිනි දල්වන්ට නො හැකි වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධානුභාවයක් විය යුතුයි”.භාග්‍යවතුන් වහන්සේ එම සිතිවිල්ලත් මනසින් දුටුවා. උන්වහන්ස් පැමිණ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ගිනි දැල්වේවා දැ?” යි අසා සිටියා. එවිට “මහාශ්‍රමණය, ගිනි දැල්වේවා”යි ජටිලතෙමේ කියා සිටියා. එකවර ම ඒ දර ගොඩවල් පන්සියයම ඇවිලුනා. ඔහු නැවතත් මෙලෙසම “යමකුගේ අනුභාවයෙන් ගිනි නො දැල්වෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි අනුවණ සිතම පහල වුණා . බුදුහාමුදුරුවෝ ඒ සිත දැකලත් නොදන්නවා වගේ පෙරසේම නිහඬ වුනා.
ඒ මොහොතේ සිටම මුළු රාත්‍රිය පුරාම ගින්දර එක දිගට ඇවිලෙනවා. කාටවත් නැවත නැවත අවුලන්න ඕනේ උනේ නැහැ. හරිම පුදුමයි බුදුවරුන්ගේ ආනුභාවය. දැන් හරිම පර්ශ්නයක් යාගය අවසන්. ජටිලයෝ ගින්දර නිවීමට උත්සාහ කරනවා. ඒත් ගින්දර නිවෙන්නේ නැහැ.. කස්සපට දැන් මෙහෙම හිතෙනවා.
ජටිලයන්ට “යම්හෙයකින් අපි ගිනි නිවන්නට නො හැකි වෙමු ද, එය නිසැකයෙන් ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් ම විය යුතුයි. ඒ සිතිවිල්ල ඔහුගේ සිතෙහි ජනිත වූ සැණින් බුදුපියාණන් වහන්සේ මෙලෙස ඔහුගෙන් විමසුවා.
“කාශ්‍යපය, ගිනි නිවේවා දැ?”. “මහාශ්‍රමණය, ගිනි නිවේවා” යි ජටිලතෙමේ කියා සිටියා. ඒ වදන් පිටවී නිමේෂයයි. එකවර ම ගිනි ගොඩවල් පන්සියයම නිවී ගියා. . ඉන්පස්සේත් ඔහුගේ සිතේ පහලවුනේ සුපුරුදු පරණ සිතිවිල්ලමයි. “යමකුගේ අනුභාවයෙන් ගිනි නො නිවෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය”
බුදුරජාණන් වහන්සේ නිහඬව තව දුරටත් වැඩ සිටියා. ඔබටත් මෙය හොඳ පාඩමක්. පරිස්සම් විය යුතු කරුණක්. . අනතිමානී ගුණය දැන් සිටම පුරුදු කරන්න. සමහරවිට ඒ අඩුපාඩුවෙන් යම් දිනක බුදුවරයෙකු වුවත් මෙලෙසම වෙහෙසට පත්විය හැකියි.
විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර