අපේ බුදුහාමුදුරුවෝ 314 (සන්තිකේ නිධානය)

ඒ තවත් එක් භාග්‍යවන්ත දිනයක්. මම එහෙම ලියුවේ භග්‍යවතුන් වහන්සේනමක් ජීවමානව මේ මිහිමඬල ස්පර්ශ කරමින් වැඩසිටින නිසා. උන්වහන්සේ වව බැහැ දැකීමට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරමින් පැමිණි පිරිස් මුළු දඹදිව පුරය පුරාම විසිරිලා. භාග්‍යවතුන් වහන්සේ තවමත් උරුවෙලකස්සප ඇතුළු පිරිසට විමුක්තිය උදා කිරීමට උරුවෙලෙහි වැඩසිටිනවා.

භාග්‍යවතුන් වහන්සේට පංසුකූලයක් හමුවෙලා. ඔබ දන්නවා පංසුකූලයක් කියන්නේ මෘතදෙහයක් ඔතා ගෙනැවිත් දැමු රෙද්දක් කියලා. උන්වහන්සේට “මම කොතැන්හි දී පංසුකූලය සෝදන්නේනම් දැ?” යි සිතක් පහළ වුණා . ක්ෂණයයි ගතවුනේ. දෙවියන්ට අධිපති වූ ශක්‍රදේව රාජෝත්තමයන් වහන්සේගේ සිතට මෙම කරණය දැනුණා. ඔහු වහාම උන්වහන්සේ ඉදිරියේ පහළවුනා. පහල වී උන්වහන්සේගේ අතින්ම පොකුණක් හාරා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය සෝදන සේක්වා” යි සැළ කොට සිටියා. දිව්‍යමය හස්තියක් කියන්නේ අපේ හස්තියක් වගේ නෙවෙයිනේ. තම සිතින් අධිෂ්ටාන කොට අත දික් කිරීම පමණයි අවශ්‍යය. මෙම ලිපි පෙලෙහිම දුරේ නිධානයේ එවැනි විශ්කම් බොහෝ මම ලියා තිබෙනවා.

ඉන් පස්සේ භාග්‍යවතුන් වහන්සේට තවත් සිතිවල්ලක් පහළ වුනා. “මම කුමක ලා පංසුකූලය පිරිමදින්නෙම් දැ?” ඇයි පොකුණක් තිබුනට මදිනේ. රෙද්දක් පිරිසිදු කරන්න ගලක් තියෙන්නත් ඕනනේ.

මෙම චිත්තවිතර්‍කය තම සිතින් දැනගත් සක්දෙවිඳු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය පිරිමදිනසේක්වා” යි විශාල ගලක් එහි තබනු ලැබුවා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට තවත් සිතිවිල්ලක් පහළවුනා.

“මම කොතැනක එල්බී ගොඩ නගින්නෙම්දැ?

හැබැයි ඒ අවස්ථාව සක්දෙවිඳුට ලැබුනේ නැහැ. ඒ අසල තිබු කුඹුක්ගසට අරක් ගත් දේවතාවත් මේ සියල්ලම බලා සිටියේ. ඒ දේවතාවුන් වහන්සේ “භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගින සේක් වා” යි තම විමානේ අත්තක් ඒ තොටුපල දෙසට නවනු ලැබුවා. මම හිතන්නේ සක්දෙවිදු නිහඬ වෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඕනේ. ඇයි තමන්ට අයත් නැති දෙපලක්නේ. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට “මම පංසුකූලය කොතැනක දිග හරින්නෙම් ද? (වේලීම සඳහා) සිතක් පහල වුණා. සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි දිග හරිණ (වනන) සේක්වා” යි මහත් ගලක් පසෙකින් තැබුවා.

බලන්න දනට පිනට දීමේ කුසල විපාක. සිතු පැතු දේ ඒ මොහොතේම පහළවන. මෙලෙස අපූරු අශ්චර්යන් තවත් රාත්‍රියක් ගෙවිලා ගියා. උරුවේලකාශ්‍යපජටිල තවුසා සුපුරුදු ලෙසම පසුදාත් උදැසනින්ම පොරොන්දු වූ පරිදි දානය රැගෙන . භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. හරිම පුදුමයි මුළු පරිසරයම වෙනස් වෙලා. පොකුණු ගල්තලා දියනෑමට තොටුපළවල්. ඔහුට බුදුරජාණන් වහන්සේ දන් වළදනතෙක් ඉවසා සිටීමටවත් නොහැකි වුණා. ප්‍රශ්ණ වැලක් භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුකරනු ලැබුවේ දන් වැළදීමටත් පෙරයි.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, කිමෙක් ද? මේ පොකුණ පෙර මෙහි නො වී ය. මෙහි ඒ මේ පොකුණ දැන් තිබේ. පෙර මේ ගල නො තිබුනි. කවරකු විසින් මේ ගල තබන ලද්දේ ද? පෙර මේ කුඹුක් ගසේ අත්ත නො නැමින. දැන් ඒ මේ අත්ත නැමිනැ’යි ප්‍රශ්ණ පත්තරයක් කියවගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් සෙමින් මහාකරුණා වෙන් ඔහුට තතු පැහැදිලි කළා.

“කාශ්‍යපය, මෙහි දී මට පංසුකූලයක් උපන්නේ ය. ‘කොතැනක මම පංසුකූලය සෝදන්නෙම් දැ?’ යි ඒ මට සිතක් උපන. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන අතින් පොකුණක් හාරා මට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි සෝදනසේක්වා’ යි කීයේ ය. ඒ මේ පොකුණ නො මිනිසකු අතින් සාරණලද්දේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම කො තැනක පංසුකූලය පිරිමදින්නෙම් දැ?’ යි සිතක් වූයේ ය. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි පිරිමදිනසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුවේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය. ‘කාශ්‍යපය, ඒ මට මම කො තැනක එල්බී ගොඩ නගින්නෙම් දැ’ යි සිතක් උපන්නේ ය. ඉක්බිති කාශ්‍යපය, කුඹුක්ගසෙහි අරක්ගත් දේවතාතොමෝ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගිනසේක්වා” යි අත්තක් නැමූ ය. ඒ මේ කුඹුක්ගස “ස්වාමීනි, අත දෙව” යි කියන්නා සේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම පංසුකූලය කො තැනක දිග හරින්නෙම් දැ?’ යි සිතක් වි ය. ඉක්බිති කාශ්‍යපය, සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය දිග හරිණසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය”

ඔබට සිනහා යනවා නොවනුමානයි. උරුවේලකාශ්‍යපජටිල තවුසාට පැරණි සිතිවිල්ලමයි පහල වුනේ.

“සක්දෙව් රජතෙමේත් යම් මහාශ්‍රමණයකුට වතාවත් කරන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධිඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”

ඉතින් මොනවා කරන්නද? භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා තව දුරටත් ඔහු වෙනුවෙන්ම මහත් වූ කරුණාවෙන් ඒ වනලැහැබෙහි ම වැඩ සිටියා.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර