අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය)
උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත
ඔබට දැන් හිතෙනවා ඇති ඇයි මෙතරම් කාලයක් බුදුපියාණන් වහන්සේ උරුවේල කාශ්‍යප වෙනුවෙන් උරුවෙල් දනව්වේ වැඩ සිටියේ කියලා.එයට එක් කරුණක් තමයි ඔහුගේ පිරිස. දෙවැන්න ඔහුගේ පාරමිතා පුර්ණය.
කස්සප කියන්නේ ඔහුගේ ගෝත්‍ර නාමයයි. උරුවෙල දනව්වේ වැඩසිටි නිසා කස්සප නාමයට ගමේ නමත් එකතුවෙලා උරුවෙලකස්සප නමින් ප්‍රසිද්ධ වුනා. පසුකාලයේ බුදුරජුන් වෙත පැමිණි මහණ වූ මහා තෙරවුරන්ටත් පිරිවර හිටියා. එහෙත් උරුවෙලකස්සප තෙරුන්ට තරමටම පිරිවර හිටියේ නැහැ. ඒ තෙරුන්වහන්සේලාගේ පිරිවර යම් කාල වල වැඩි වුණා . එහෙත් සමහර කාල වල හොදටම අඩුවුනා. එහෙත් උරුවෙලකස්සපගේ පිරිවර අවම වශයෙන් දහසක් වුනා. තම සහෝදරයන් දෙදෙනාගේ පිරිවරත් සමග එය දෙගුණ තෙගුණ වුනා. ඔවුන් කාලයෙන් කාලයට ගෝලයෝ පැවිදිකර ගත්තා. ඔවුන් එක් වී එක් කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවන කාලයට පිරිස දෙදහසක් පමණ වුනා. . දෙදෙනා බැගින් පැවිදිකරවන කාලයට තුන්දහසක් ශ්‍රමණයෝ සිටියා. ඒ නිසාම පසුකාලයේ උන්වහන්සේ අසුමහා ශ්‍රාවකයන් අතර මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වුණා.
ඔවුන්ගේ පාරමිතා පුර්ණය මෙලෙසයි. ඔහු පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වියට පත්වී සිටියේ. දිනක් පියුමතුරා බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි ඔහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් සිටියා. එම දර්මදේෂණය අවසානයේ එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක්ක ඔහු හට “අනේ මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි” සිතක් පහල වුනා. එදා සිටබ් සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අග්‍රස්ථානය යම් බුදුවරයෙකු හමුවේ ලැබීමට ප්‍රාර්ථනය කරා. මේ දුටුව ශාස්තෘන්වහන්සේ එහි අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී එම අධිෂ්ඨානය ස්ථිර කරනු ලැබුවා. ඉන්පස්සේ ඒ කුලපුත්‍රයා ඒ කියන්නේ එකල උරුවෙල්කස්සප තෙරුන් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නට වුණා.
මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස කියලා බුදුවරයෙකු ලොව පහලවුනා. මේ ලිපි පෙලේ දුරේ නිධානය කියන කොටසේ මේ බුදුවරු ගැනත් උන්වහන්සේලාගේ විශේෂතා ගැනත් ලියලා තියෙනව. ඒ බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ කනිටු පුතු ලෙස මොහො උපත ලැබුවා. ඒ කියන්නේ ඵුස්ස බුදුපියාණන් වහන්සේගේ කණිටු සහෝදරයා. පියා මහින්‍ද නම් රජකෙනෙක්. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් ද සිටියා. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව රජුගෙන් තනතුරු ලැබූවා. එක් කාලයක ප්‍රත්‍යන්ත දේශයෙහි කැරැල්ලක් ඇතිවුණා. ඔවුන් විසින් ඒ කැරැල්ල සංසිඳුවනු ලැබුවා. මෙයින් සතුටට පත්වූ පියා විසින් ඔවුනට කැමති වරයක් ගන්නට කිවා. බලන්න සසරෙහි පින් කරපු උත්තමයෝ. ඔවුනට මෙහෙම අදහසක් පහල වුනා. . ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. ඒ කියන්නේ ඒ වනවිටත් ඔවුන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් සිටියේ. එක් අමතියකු උපස්ථාන තනතුරෙහි තබලා තවකෙනෙකු අයවැය සාදන කෙනා කොට තවත් ඇමතියෙක් බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට අවසර ඉල්ලා ගත්තා. . ඔබ දන්නවද කවුද ඒ ඇමතිවරු තුන්දෙනා කියලා. ඔවුන් තමයි මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අය.
ඒ රාජකුමාරවරු මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානකොට භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේ ගේ කාලයේ මෙලෙස බමුණුකුලයක ඉපදුනා. තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවා. වියපත් ඔවුහු ත්‍රිවේදයම ඉගෙනගනු ලැබුවා. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවර සිටියා.. මැඳුම් බෑයාට තුන්සියයක් කනිටු බෑයාට දෙසියක් පිරිවර වුණා. . ඉන්පසු ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිවර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නමින් වැඩසිටියා. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වවුණා . ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්ත ගයා කස්සප නම්වුනා. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ ඇයි තවමත් මේ අය වෙනුවෙන් වැඩ සිටින්නේ කියලා.
උපකාරක ග්‍රන්ථ
උරුවෙලකස‍්සපත්‍ථෙරගාථා ඛුද‍්දකනිකායොථෙරගාථාපාළි ඡක‍්කනිපාතො
උරුවෙලකස‍්සපත්‍ථෙරාපදානං ඛුද‍්දකනිකායොඅපදානපාළිථෙරඅපදානපාළි. කච‍්චානවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරවත්‍ථු
අඞ‍්ගුත‍්තරනිකායො අට‍්ඨකථාඑකකනිපාත-අට‍්ඨකථාඑතදග‍්ගපාළිචතුත්‍ථඑතදග‍්ගවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා
ඛුද‍්දකනිකායො අට‍්ඨකථාථෙරගාථා-අට‍්ඨකථා ඡක‍්කනිපාතො