අපේ බුදුහාමුදුරුවෝ 310 (සන්තිකේ නිධානය)

 

ද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය

පෙර දින එතරම් විශාල ප්‍රාතිහාර්යය ප්‍රමාණයක් සියසින් දැකලත් උරුවේලකාශ්‍යපගේ හිත තමා තවමත් බුදුරජාණන් වහන්සේට වඩා උසස් අරහත්වයට පැමිණි සුවිශේෂී පුද්ගලයෙක් බව කියන්නට වුනා. අතීත බුදුරජාණන් වහන්සේලාගේ කාලයේත් මෙවැනි දේ මේ ආකාරයෙන්ම සිදුවී තිබුනා. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේට එය සුවිශේෂ සිද්ධියක් උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මොහුව ගුරුත්වයේ තබාගෙන මොහුට ගරු කරන මොහු අරහත් වූ කෙනෙකු ලෙස සලකන තව විශාල පිරිසක් ද සිටියා. ඉතින් මොහුව නිවැරදි මගට ගන්නවා කියන්නේ ඔහුගේ සහෝදරයෝ දෙදෙනා සහ ඔවුන්ගේද ගෝල පිරිස් ඇතුළුව දහසකට වැඩි තව විශාල පිරිසක් නිවැරදි මගට ගත්තා හා සමාන වෙනවා. හැබැයි මම හිතන්නේ ඒක විතරක් නෙවෙයි ප්‍රධාන කරණය. මහා පිරිස් ඇති භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය ලැබීමට ඔවුන් පිරූ පාරමිතා ශක්තියත් සහ ප්‍රඥාව මෝරන ක්ෂණයත් යන කාරනා දෙකම මෙයට හේතුවන්නට ඇති. ඒහි මුලාශ්‍ර සොයා ඊළඟ ලිපියෙහි එම තොරතුරු ලිවීමට බලාපොරොත්තු වෙනවා.

ඒ තවත් එක් මධ්‍යම රාත්‍රියක්. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ උරුවේලකාශ්‍යප ජටිල තුමාගේ අසපුවට නුදුරෙහි වූ තවත් එක්තරා වනලැහැබෙක. මද්‍යම රාත්‍රිය ඉක්ම ගියායින් පස්සේ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේගෙන් බන ඇසීමට පැමිණෙන බව ඔබද හොඳින් අසා ඇති ප්‍රසිද්ධ කරුණක්. එදින එක්වරම මුළු වනලහැබ ඉහල අහසෙහි විශාල එළි සතරක් සතර දිශාවෙන් මතුවෙන්නට පටන් ගත්තා. මුළු අහසත් වනලහැබත් විවිධ වර්ණයන්ගෙන් බබලන්නට වුනා. උරුවේලකාශ්‍යප ජටිල තුමාත් ඒ වෙලාවේ නිදිවර්ජිතව උන්නේ. හැබැයි එවැනි වර්ණයක් මිට පෙර ඔහුත් දැක නොතිබෙන්නට ඇති. ඔහු රහත් බව සිතා සිටියට රහත් නොවූ නිසා ඒ දෙසට විපරම් කිරීමට එන්නට බය වෙන්නටත් ඇති කියලා මගේ හිත කියනවා. ඒ පැමිණ තිබුනේ සතරවරම් දෙවිවරු.

උන්වහන්සේලාත් සතරවරම් දෙවිවරු වන්නට සංසාරයේ කොතරම් පින් කරන්නට ඇත්ද? විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තාහු උන්වහන්සේලා මුළු වනලහැබම ඒකා ලෝක කරමින් පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ගිනිකඳන් මෙන් සිව්දිග සිසාරා සිටියා. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ඔවුන්හටද තමන්වහන්සේ විසින් අවබෝධ කොටගත් දර්මය දේශනා කරන්නට උනා. දර්මය ශ්‍රවනය කිරීමෙන් අනතුරුව ඔවුන් නැවතත් තමන්ගේ දිව්‍ය විමන් වෙත නික්ම ගියා.

උරුවෙලකාශ්‍යප ජටිලතුමාට ඉවසිල්ලක් තිබුනේ නැහැ රැය පහන්වනතෙක් ම මේ ගැන විස්තර දැනගන්නට. ඉන්පසු උරුවෙලකාශ්‍යපජටිල තෙමේ ඒ රැය ඇවෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ලහි ලහියේ පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් “මහාශ්‍රමණය, මේ සුදුසුකාලය වේ. බත නිමවී ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවර කෙනෙක් මුළු වනලැහැබ බබුළුවා නුඹවහන්සේ වෙතට පැමිණියාහු ද? පැමිණ නුඹවහන්සේ වැඳ මහත් වූ ගිනිකඳන් සේ සිව්දිග සිටියාහුදැ?’ යි අසන්නට වුණා. එවිට බුදුපියාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මෙලෙස වදාරනු ලැබුවා.

“කාශ්‍යපය, ඒ සතරවරම්මහරජහු දහම් අසනු පිණිස මා වෙතට පැමිණියාහු ය”.

එවිට ම උරුවේලකාශ්‍යපජටිලයාහට මෙලෙස සිතක් පහල වුණා.

“යමකු කරා සතරවරම්මහරජහු දහම් අසනු පිණිස පැමිණෙන්නාහු ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”

ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිල තුමා පූජා කරන ලද බත වළඳා ඒ වනලැහැබෙහි ම ඉන්නට සිතා ගත්තේ තවමත් ධර්මාවබෝධයට ඔහුට සුදුසු කාලය නොවන නිසා වන්නට ඇති.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර