අපේ බුදුහාමුදුරුවෝ 308 (සන්තිකේ නිධානය)
තිස්දෙනෙක් වූ දෙවැනි ධර්මදූත පිරිස සහ ජටාධර සහෝදර තවුසන් තිදෙනා.
මෙලෙස භාද්‍රවර්ගික කුමාරවරුන් තිස්දෙනාම ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. හරිම පුදුමයි මිට ඉහත ආත්මභාවයක අප මහා බෝසතාණන් වහන්සේ හට ඔවුන්ව මුණ ගැසෙන්නේ මෙලෙසම විනෝදකාමී යහළුවන් පිරිසක් ලෙස උත්සවයක් අතරතුර කෑමට තිබු මස් ඉවරවිමෙන් මසට සතෙක්ව මිලදීගන්න යන අතරතුරේ. එදත් මේ තිස්දෙනාම බෝසතාණන් වහන්සේගෙන් බණ අසා ඒ පවිටු ජිවිතයෙන් බැහැරව සිල් රකින්නට පටන්ගන්නවා. මේ අත්මභාවයේත් ඒ චක්‍රය එලෙසම ක්‍රියාත්මක වෙනවා. එලෙසම විනෝද වෙමින් පැමිණෙන ඔවුනට බෝසතාණන් වහන්සේව හමුවන්නේ තවමත් බෝසත්වරයෙකු ලෙස නෙවෙයි. සම්මා සම්බුදුවරයෙකු ලෙසයි. මෙවර පංචසිලයේ පිහිටවීමෙන් පමණක් නෙවෙයි. අප මහා බුදුපියාණන් වහන්සේ ඔවුනට දර්මය අවබෝධ කොට දී ඒහි භික්කු භාවයෙන් පැවිදි උපසම්පදාවද ලබාදී දැන් ධර්මප්‍රචාර කටයුතු සඳහා යවන්නටද සුදානම් කොට අවසානයි. ඒ සංසාර පුරුදු හමුවීම් කල්‍යාණ මිත්‍රත්වය වගේ කරුණු හරිම පුදුමයි.
දැන් උන්වහන්සේලා තිස් නමත් බුදුරජාණන් වහන්සේත් සමග සාසනයේ සංඝ පිරිස අනුඑක්නමක්. බුදුරජාණන් වහන්සේ උන්වහ්න්සේලාවත් මිට පෙර සිදු කල විදිහටම තනි තනිව තවත් තිස් දිශාවකට දර්ම ප්‍රචාරය සඳහා පිටත් කොට යැවුවා. උන්වහන්සේ නැවතත් තනිවම උරුවෙල් දනව්ව වෙත පිය නැග්ගා.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල්දනව්වට වැඩම කරනු ලැබුවා. ඒ කාලයෙහි උරුවේලාවෙහි උරුවේලකාශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප යි කියලා ජටිලයෝ තිදෙනෙක් වාසය කරනවා. ඔවුන් අතුරෙන් උරුවේලකාශ්‍යපජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වුනා. ඔහු තම ලබ්ධිය ගන්වන බැවින් විනායක වුනා. අග්‍ර වුනා . ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා. නදීකාශ්‍යප ජටිල තෙමේ තුන්සියයක් ජටිලයන්ට නායක වුනා. විනායක වුනා. අග්‍ර වුනා . ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා. ගයාකාශ්‍යප ජටිල තෙමේ දෙසියයක් ජටිලයන්ට නායක වුනා. විනායක වුනා. අග්‍ර වුනා. ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා.
භාග්‍යවතුන් වහන්සේ මෙලෙස පියනගමින් පැමිණ නතර වුනේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුව ඉදිරිපිට. එසේ වැඩම කල උන්වහන්සේ “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසමින් තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශකොට සිටියා. දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසා සිටියා. තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසා සිටියා. එවිට බුදුපියාණන් වහන්සේ, ඔහුට මා හට පීඩාවක් අනතුරක් කල නොහැකියි. ඔබේ අවසරය ඇතොත් මම එහි සුවසේ සිටිය හැකි බව දන්වා සිටියා. එවිට කාශ්‍යප තෙමේ මහාශ්‍රමණය සැපසේ වාසය කරන්න යනුවෙන් අවසර දෙමින් නිහඬ වුනා. බුදුරජාණන් වහන්සේ යම් පෙදෙසකට හෝ නිශ්චිත පුද්ගලයෙකු මුණ ගැසෙන්නට වඩින්නේ නිකම්ම නොවන බවට දැන් ඔබ හට යම් අවබෝධයක් තියෙන්නට ඕනේ.
ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුල් ව තණඇතිරිය පණවා පලඟ බැඳ කය කෙළින් තබා සිහිය එළවා සම්ධිමත් සිතින් වැඩ සිටියේ තවත් මහා සංග්‍රාමයක් ඉදිරියෙන් ඇතිබව දැනගෙනම වන්නට ඇති .
විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර