අපේ බුදුහාමුදුරුවෝ 297 (සන්තිකේ නිධානය)
යසකුල පුත්‍රයා 03
අප බුද්ධ සාසනයේ පළමු තෙවාචික උපාසක (තිසරණය සරණ ගිය) වූ යසකුල පුත්‍රයාගේ පියා (බරණැස සිටු)
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මිහිතලයට තවත් දිනකට හිරු උදාවෙමින් තිබුනේ. යසකුලපුත්‍රයාගේ මවුතුමිය ඔහු නිදා සිටි මාලිගයට හිමිදිරියේම දුවගෙන පැමිණියේ ඔහු එහි නොමැති බවට සේවකයන්ගෙන් ලැබුණු පණිවිඩයකින් වෙන්න ඇති. ඇය මාලිගය පුරා විපරම් කොට බැලුවත් ඔහු ගේ සේයාවක්වත් එහි දකින්නට තිබුනේ නැති නිසා හඬා වැළපෙමින් සිටුවරයා වෙත දිව ගියා. දිව ගොස්, සිටුවරයාට “අනේ ඔබගේ පුත් වූ යසතෙමේ නො දක්නා ලැබේ” යයි හඬමින් පවසන්නට වුනා. මහත් බිය වූ සිටුතුමා වහාම අසුනින් නැගී සිටියා. නැඟී සිටි ඔහු ඒ මොහොතේම දූතයන් සිවුදිගට යැවීමට කටයුතු කරනු ලැබුවා. මොහොතක් කල්පනාකාරීව සිටි ඔහු තව දුරටත් මාලිගයේ හිඳුනු නොහැකිව එළියට බැස “පුතු කෙසේ හෝ සොයාගෙන මිස මාලිගයට නොපැමිණෙන්නෙමි” යන සිතෙන් අසුනෙන් නැගී සිටියේ මවගේ වැළපීම තව දුරටත් අසා සිටිනු නොහැකිව. ඔහු බුදුන් වැඩ සිටි ඉසිපතන නම් වූ මෘගදාය දෙසට පියමන්නේ ඉබේටම වගේ. එයත් දෙවිවරුන්ගේ අනුභාවයෙන් වුන දෙයක්ද කියා කියන්නට දන්නේ නැහැ. තවමත් හිමිදිරිය නිසා කුමරා ගිය මග වූ සුවර්‍ණපාදුකාවන්ගේ අඩි තවමත් මැකී තිබුනේ නැහැ. අනික එය රනින් කරනු ලැබූ සුවිශේෂී මිරිවැඩි යුවලක්. එවැනි පා සටහනක් දඹදිව තව වෙන කෙනෙකුට තිබිය හැක්කක් නොවේ. ඔහු ඒ දැක, එය අනු ව යන්නට වුනා.
භාග්‍යවතුන් වහන්සේ දුරසිටම තම වෙතට පියමනින්න වූ සිටුවරයාව දුටුවා. දැක්මෙන් භාග්‍යවතුන් වහන්සේට “මෙහි එන සිටුවරයා හට මෙහි අසුන්ගෙන සිටින යසකුලපුත්‍රයා යම් සේ නො දක්නේ ද, මම එබඳු වූ සෘද්ධියක් කරන්නෙම් නම් යෙහෙකැ” යි සිතක් පහල වුනා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ සෘද්ධියක් කරනු ලැබුවා. ඒ සමගම යසකුල පුත්‍රයාව නොපෙනී ගියා.
සිටුවරයා ද භාග්‍යවතුන් වහන්සේ වෙත පියමැන්නා. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි ඔහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මගේ යසකුලපුතු දුටු සේක් ද?” අසා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ සිටුවරය එසේනම් මෙහි අසුන්ගන්න. එවිට ඔබට ඔබගේ පුත්‍රයාව තව මොහොතකින් දකින්නට ලැබේවි.
එයින් ඔද වැඩීගිය සිටුවරයා “මම මෙහි ම සිටින්නෙමි. මෙහි ම සිට යසකුලපුතු ද දකින්නෙමි” යි සතුටු ව ඔද වැඩි සිත් ඇතිව, භාග්‍යවතුන් සකසා වැඳ පසෙක සිටියා. සිටුවරයාහට භාග්‍යවතුන් වහන්සේ ඔහුටද පුතුට මෙන්ම පිළිවෙළකථාවවදාරණු ලැබුවා.
“ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. යනුවෙන් වන්දනා කරමින් පවසා සිටියා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්ස අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා”යි ඉල්ලා සිටියා. එලෙස යසකුලපුත්‍රයන්ගේ පියාණන් ලොකයෙහි පළමු තෙවාචික උපාසක බවට පත්වුනා.