අපේ බුදුහාමුදුරුවෝ 282 (සන්තිකේ නිධානය)
බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 02
යක්ෂ සේනාධිපතීන් හට ආවේණික මෙවැනි කරුණක් තිබුනා. එනම් ඒ ඒ මාසයෙහි අටවන දිනයෙහි, යම් යම් කරුණු පිළිබඳ තීරණ ගැනීමට හිමාලයෙහි, රත්හිරියල් තලාවෙහි භගලවතී පව්වෙහි දෙවියන්ගේ රැස්වීමකට සහභාගි විය යුතුව තිබුණා. සාතාගිර සහ හේමවත පැරණි මිත්‍රයන් එහිදී හමුවී එකිනෙකා දැන හඳුනා ගත්තා. මිතුර, ඔබ කොහි උපන්නෙහිද? ඔබ උපන්නේ කොහිද?” ආදී උපන් තැන් අසා, හරියට පසුතැවිලි වුනා. ‘මිතුර, අපි වැනසුනෙමු. අවුරුදු විසිදහසක් මහණදම්කොට, එක පාපී සහායකයෙකු නිසා යකුන්ව උපත ලදිමු. අපට සිවුපසය දුන්නෝ කාමාවචර දිව්‍යතල වල උපන්හ’යි යනුවෙන් දුක්වන්නට වුනා. ඒ විතරක් නොවේ, ආගිය තොරතුරුද කතාබස් කරන්නට් වුනේ පැරණි මිත්‍රත්වයෙන් බැඳී සෙනෙහෙන්මයි.
‘නිදුකාණනි, හිමාලය නම්, පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැයි සම්මතව පවතිනවා. කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මට ද සැළකරනු මැනවැයි සාතාගිර කියා සිටියා. ‘නිදුකාණනි, හිමාලයෙහි මැද ඔබ වසන පෙදෙසද පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැ’යි සම්මතයි, කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මටද කිවමැනව’යි හේමවතද පවසා සිටියා. ඔබ හිතන්නේ ඔවුන්ගේ හිතවත්කම මිත්‍රත්වය මෙලෙස කොතරම් කලක් පැවතියාද කියලා. මෙසේ මිතුරන් දෙදෙනා එකිනෙකා කතිකා කොට මෙලෙස වාසය කරනවිටම, මහපොළව එක් යොදුනක් හා ගවු තුනක් වැඩි යමින් මෙලෙස එක් බුද්ධාන්තරයක්ද ඉක්ම ගියා.
මේ අතර, අප බෝසතාණන් වහන්සේ දීපංකර බුදුපාමුල විවරණ ලැබ, වෙසතුරුව ඉපදෙන තෙක් සසර පාරමී දම් පුරා, තුසිත භවනයෙහි ඉපිද, එහි ආයු ඇතිතාක් වාසය කොට, දෙවියන් විසින් ආයාචනා කරන ලද පරිදි, පස්මහ බැලීම් විමසා බලා, දෙවියන්ට සැළකොට පෙරනිමිති දෙතිසක් පහළ වනවිට, දසදහසක් ලෝධාතු කම්පකොට මනුලොව පිළිසිඳ ගත්තා. සාතාගිර, හේමවතද ඒ පෙරනිමිති දුටුවද, ඔවුන් කෙළිදෙළින් යුතුව සිටි නිසා එයට නිසිපරිදි හේතුව නොදත් බව නොදුටු බව ඇතැමෙක් කියනවා.
මේ ආකාරයෙන් බෝසතුන් ඉපදීමේදීද, අබිනික්මණෙහිදී ද, බුදු බවට පත්වීමෙහිදී ද බුදුබව ලබා පස්වග මහණුන් අමතා, වට තුනකින් හා දොළොස් ආකාර වූ උතුම් දහම් සක දේශනා කරන කල්හිද, පොළව සෙලවීම හා පෙරනිමිති පෙළහරද එකසේ සිදුවුනා පමණක් නොව පෙර අවස්ථාවලට සාපේක්ෂව බොහෝකාලයක් පැවතියා. එම පෙලෙහර ඔවුන් දෙදෙනාගෙන් පළමුව දුටුවේ සාතාගිරි.
ඊට හේතුව දැනගත් සාතාගිර සහ පිරිස, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් දෙසුම ඇසුවද මගපල කිසිත් ලැබීමට නොහැකි වුනා.. ඊට හේතුව වුනේද කල්ප ගණනක් පැවති මිත්‍රත්වයයි. ඔහු දහම් අසනවාට වඩා වැඩි අවදානයක් යොමුකළේ හේමවත තම කල්‍යාණ මිතුරා පැමිණ සිටීදැයි විමසිලිමත වීමටයි. පිරිස දෙස බලා ඔහු නොදැක, ‘මෙබඳු විසිතුරු වැටහෙන සුළු භාග්‍යවතුන් වහන්සේන්ගේ දේශනය ඇසීමට නොසැලස්වීමෙන් මා යහළුවා රවටනු ලැබීයැයි සිත අවුලට පත්වුණා. මෙබඳු විසිතුරු දෙසුමක් ඇසීමට යහළුවාට නොදැන්වීම ඔහු සිතුවේ යහළුවාව රැවටීමක් ලෙසයි. භාග්‍යවතුන් වහන්සේද හිරු අවරට ගියද දර්ම දේශනය නිමා කලේ නැහැ. තව දුරටත් තම යහළුවා නැතිව දර්මශ්‍රවනය වරදක් ලෙස සිතු සාතාගිරද, ‘යහළුවා සමග එහි අවුත් දහම් දෙසුම අසනෙමි’යි සිතා ඇත්, අස්, ගුරුළු වාහන ආදිය මවා, තම පිරිවර පන්සියයත් පිරිවරා හිමවත දෙසට අහසින් ගියා.
උපකාරක ග්‍රන්ථ
සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සූත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව
ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » උරගවග්ගො » හෙමවත සූත්‍රය සහ එහි අටුවාව