අපේ බුදුහාමුදුරුවෝ 277 (සන්තිකේ නිධානය)
ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 02
කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුන්ගෙන් සමුගෙන ඡද්දන්ත වනයේ මන්දාකිනි විල්තෙරට වැඩම කිරීම.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂු භාවය ලැබුවායින් පස්සේ ජීවත්වීමට හැකියාව ලැබුනේ අවුරුදු දොළහක් වැනි ඉතාමත් සුළු කාල පරිච්චේදයක්. ඒ සුළු කාල පරිච්චේදය උන්වහන්සේ කොහේ සිටියේද කියලා ඔබ සමහරවිට නොදැන සිටියා විය හැකියි. ඒ කාලය උන්වහන්සේ ගත කලේ ඉතාමත් මනරම් අති සුන්දර ස්ථානයක. ඒ තමයි ගන්ධමාන පර්වතය අසල වූ සොඳුරු වන පියස වූ ඡද්දන්ත වනයෙහි මන්දාකිනී විල් තෙර. ඉන්පසු කියන්නට යන්නේ ඒ විල් තෙර තිබු ඇති සුන්දර පරිසරය පිළිබඳවයි. එහෙත් ඊට පෙර කිව යුත්තක් තියෙනව. ඒ කුමක් නිසා උන් වහන්සේ එම පදෙසට වැඩියාද යන්නැයි.
උන්වහන්සේ ප්‍රඥාවන්ත මහා ශ්‍රාවකයා යි. භාග්‍යවතුන් වහන්සේගේ මෙන් මුන් වහන්සේගේ ගුණ ද දස දහසක් සක්වළ දෙව්මිනිසුන් අතර පැතිරී තිබුනා. දෙව් මිනිස්සු, තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදියෙන් පූජා කොට, අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ ශ්‍රාවකයාණන් වහන්සේ යි නිරතුරු ව ම කොණ්ඩඤ්ඤ තෙරුන් වෙත පැමිණ පූජා කරන්නට වුනා. එලෙස ළගට පැමිණි අය නිකම්ම පිටත් කර නොහැකි බව ඔබටද වැටහෙනවා ඇති. ඒ නිසාම ඔවුනට සුදුසු අකාරයේ ධර්ම කථා හෝ පිළිසඳර කථා හෝ කළ යුතුම වෙනවා. තෙරුන් වහන්සේ ද විහාර ගරුක යි. එහෙයින් එය ප්‍රපංචයක් (ප්‍රමාද බාධකයක්) මෙන් මෙන් පෙනී සිටියා. ඒ එක් කරුණක්.
තවත් කාරණයක්, භික්චාෂාචාර වේලාවෙහි සියලු ශ්‍රාවකයෝ වස් පිළිවෙලින් සඳහා පිටත්ව යනවා. ධර්ම දේශනා කාලයෙහි මධ්‍ය ස්ථානයක අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින විට, දකුණු අත පැත්තේ ධර්ම සේනාපති සැරියුත් හිමියෝත්, වම් අත පැත්තේ මහමුගලන් තෙරණුවෝත් අසුන් ගෙන සිටිනවා. ඒ අග්‍රශ්‍රාවකයන් නිසා. උන්වහන්සේග්ලාට පිටුපස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට ආසනය පනවලා තියෙනවා. සෙසු භික්ෂූන් වහන්සේලා උන් වහන්සේලා පිරිවරා වැඩ සිටිනවා. මහා බ්‍රහ්මයා මෙන්, ගිනි සිළුවක් මෙන්, ප්‍රභාශ්වර වූ වුන් වහන්සේ අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ නිසා ද මහලු බව නිසා ද පසුපසින් වැඩ සිටීම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට යම් අපහසු තාවයක් වුනා. අනුන්ගේ සිත් දන්නා නුවනින් කෙල පැමිණි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හට එය දැනෙන්නට ඇති. හුදෙකලාවට ප්‍රිය වූ නිසාත්, අන් අයව අපහසුතාවයට පවත්වන්නට අකමැති වූ නිසාත් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ වනගත වීමට තීරණය කළා. තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවක් බලා පසුව තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම ජද්දන්ත වනයෙහි විසීමට කැමැත්තෙමි’ යි” පැවසා සිටියා. අප මහා කාරුණිකයාණන් වහන්සේ හැම දෙයක් දෙසම බැලුවේ අසීමත වූ කරුණාවෙන්. උන් වහන්සේ මහත් උපේක්ෂාවෙන් ඒ ඉල්ලීම අනුමත කළා. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදින බුදුන් ප්‍රමුඛ සංඝ රත්නයෙන් සමුගෙන පාත්‍ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙහි මන්දාකිනී ඉවුරට පියමනින්නට වුනා.
ඡද්දන්ත ඇත් රජු හා අටදහසක් වූ ඇත් සේනාව
ඡද්දන්ත වනයෙ මන්දාකිනී විල් තෙර මිට පෙර පසේ බුදුවරුන් වැඩ වාසය කල සොඳුරු වන ලැහැබක්. එහි එක අඩුපාඩුවක් තිබුණා. ඇප උපස්ථාන කරන්නට මිනිස් පුළුටක්වත් හිටියේ නැහැ. එහෙත් ඒ අඩුපාඩුව මැකුණේ අටදහසක් පමණ වූ ඇත් පිරිසකින්. සිවුරු , පාත්‍ර දරමින් බිමටම නැඹුරු වූ දෙනෙත් ඇතිව සිහි ශාන්තව පියවර තබන වයෝවෘද්ධ ශ්‍රමණ ඡායාවක් ඒ් මොහොතේ මන්දාකිණි විල් තෙර දිය නාමින් සිටි ඡද්දන්ත ඇත් රජුට දකින්නට ලැබුනා. අට දහසකින් යුතු හස්තීන් සමූයකට නායකත්වය දෙන ඡද්දන්ත ඇත් රජු සිය මුතුන් මිත්තන් පෙර පසේ බුදුවරුන්ට උදවු උපකාර කල සිරිතට අනුව යම් හැඟීම් මාත්‍රයක් හිතට පහල වෙන්නට ඇති. ඒ් නිසාම කලකට පසු දකින මේ ශාන්ත ශ්‍රමණ රුව දැක මහත් වූ ප්‍රීතියෙන් මුළු ඡද්දන්ත වනය සිසාරා කුංචනාද කරමින් ඇත් රජු තම අට දහසක් වූ පරිවාර සේනාව එක්රැස් කරන්නට වුණා.
උපකාරක ග්‍රන්ථ
සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » වඞ්ගීසසංයුත්තං » කොණ්ඩඤ්ඤ සූත්‍රය සහ අට්ඨ කතාව,
ඛුද්දකනිකාය » ථෙරගාථාපාළි » සොළසකනිපාතො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරගාථාව සහ අටුවාව
ඛුද්දකනිකාය » අපදානපාළි-1 » බුද්ධවග්ගො » අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානය
අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එතදග්ගවග්ගය » අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය සහ එහි අටුවාව