අපේ බුදුහාමුදුරුවෝ 272 (සන්තිකේ නිධානය)
“රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි යනුවෙන් වදාරනු ලැබුවා. එය ඇසූ උපක ආජීවකයා “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන් අයින් වැ) දකුණු දෙසට, යන්නට ගියා. භාග්‍යවතුන් වහන්සේ ද උතුරු දෙස බලා වඩිමින් ගයා පෙදෙස ඉක්මැ රෝහිතවාස්තු, උරුවිල්වාකල්ප, අරුණාලය, සාරථිපුර ආදී ග්‍රාමනිගමයන් පසු කොට ගංගා නදියෙන් එ තෙරැ වී බරණැස් නුවරට වැඩම කරනු ලැබුවා. මේ වනාහි ඇසළ පුණු පොහෝ දිනයද වුණා.
ඉසිපතන වැඩීම
සවස් කාලය වනවිට භාග්‍යවතුන් වහන්සේ නගරයට නොදුරු වූ ඉසිපතනයට සමීප වෙමින් සිටියා. හදිසියේම පස්වග තවුසන්ගේ ඇස ඈත වඩිනා භාග්‍යවතුන් වහන්සේ ශාන්ත දර්ශණය වෙත යොමුවුනා. එහෙත් ඔවුනට ඇතිවුණේ වැරදි හැඟීමක්. එතැන් සිට බුද්ධ වචනයෙන්ම අරියපරියෙසන සුත්‍රයේ සඳහන් වන අයුරින් ම මෙලෙස ලියන්නම්.
“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය.
“මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි.
මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්. “මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
මෙලෙසම දෙවනුවත් තෙවනුවත් පසවග බමුණන් බුදුරජාණන් වහන්සේට පවසන්නට වුනා. ඒ සියල්ලටම ඉහත සඳහන් ආකාරයටම පිළිතුරුදුන් අප බුදුපියාණන් වහන්සේ තුන්වැනි වරත් එසේ පවසන විට ඔවුන්වෙත පෙරළා මෙලෙස ප්‍රශ්ණයක් යොමුකරනු ලැබුවා.
“මහණෙනි, මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද?
නැත ස්වාමීනි,
‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. යනුවෙන් දෙශනා කරනු ලැබුවා.
පස්වග තවුසෝ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලත් බැවින් ම මෙසේ වදාරන සේකැ” යි පිළිගනු ලැබුවා. පිළිගෙන ඒ අසිරිමත් ධර්ම ශ්‍රවණයට සැරසෙන්නට වුණා.
උපකාරක ග්‍රන්ථ
මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය,
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය