අපේ බුදුහාමුදුරුවෝ 270 (සන්තිකේ නිධානය)

 

අටවන සතිය

සාම්පතී මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝකසත්වයා වෙනුවෙන් ධර්මය දේශණා කිරීමට ආරාධනය කිරීම

භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යලිත් අජපාල නුගරුක වෙත වැඩම කරනු ලැබුවා. ඒ රුක්මුලැ ඉන්නා උන් වහන්සේට මෙලෙස කලපනාවක් පහලවුණා. ඒ පිළිබඳව බුද්ධ දේශණාවෙන්ම “අරියපරියෙසන සූත්‍රය” ඇසුරෙන් මෙලෙස පළකරන්නට සිතුනා.

“ මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.

“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.

“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.

“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.”

“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට නැමෙයිද දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ යනුවෙනි

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය. “මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’

“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.

“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.

“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.

“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”

“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.

මේ කථාවමෙලෙස කියවන බඔබගේ සිතෙහි මෙලෙස ප්‍රශ්ණයක් පැන නැගෙන්නට ඇතෙයි කියල මට සිතුනේ මටත් ඒ ප්‍රශ්ණයම පැන නැගුණ නිසාමයි. ඒ නිසාම මෙම කොටස නොලියා මග හරින්නටත් සිතුණා. එහෙත් භාග්‍යයකට වගේ මිලින්ද ප්‍රශ්ණේ මිලින්ද රජතුමාටත් ඒ ප්‍රශ්නෙම හිතේ නැගිලා තිබුනා. ඒ සදහා නාගසේන මහරහතන් වහන්සේ දුන්න පිළිතුරින් මමත් සැහීමකට පත්වුණා. ඒ නිසා ඒ ප්‍රශ්ණය සහ පිළිතුර ලියාම මේ කොටස අවසන් කිරීමට සිතුණා .

බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය

මිලිඳු රජු –

ස්වාමීනි, බුදුපියාණෝ සියලු දෙවි මිනිසුන්ගේ යහපත උදෙසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවු සේක. එසේනම් අජපාල නුගරුක මුලදී බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වූයේ ඇයි?

නාගසේන තෙරණුවෝ –

මහරජ, ධර්මය ගැඹුරුය. සියුම්‍ ය. කෙලෙස් භරිත සත්වයන්ට අවබෝධ කිරීම දුෂ්කරය. කිඹුලා කටින් ඩැහැගත් දෙයක් ගලවාගත (නැවත ගත) නොහැකි සේ මිනිසුන් තුළ මුල් බැස පවතින සත්ව පුද්ගල හැඟීම දුරු කිරීම අපහසු නිසා මෙසේ බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී විය. මහරජ, බුදුපියාණෝ “මා අවබෝධ කළ සිවුසස් දහම හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය දුකසේ දැකිය යුතුය. අවබෝධ කිරීම දුෂ්කරය. ශාන්තය. ප්‍රණීතය. තර්කයෙන් දැනගත නොහැකිය. නුවණැතියන් විසින්ම දත හැකිය. රාග, ද්වේෂ, මෝහ සහිත වූ අයට මෙය අවබෝධ කළ නොහැකිය. කෙසේ මොවුන්ට ධර්මය දේශනා කරම්ද?” යයි ධර්මයේ ගැඹුරු බව නිසා පසුබට වූ සේක. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගී මනුෂ්‍යයෙක් කරා එලඹ කවර උපක්‍රමයකින්, කවර බෙහෙතකින් මොහුගේ රෝගය සුව කරන්නේදැයි සිතන්නාක් මෙනි. එසේම මහරජ, මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව ධර්ම දේශනා කිරීම සියලු බුදුවරයන්ගේ ධර්මතාවයකි. බුදුපියාණන්ට පෙර විසූ අය බ්‍රහ්මයා දේවතා කොට ගරු කොට සැලකූවෝ වූහ. එවන් බ්‍රහ්මයකු බුදුපියාණන්ට වඳිනු දකින විට දෙවියන් ඇතුළු ලෝවැසියෝත් එය නිතැතින්ම අනුගමනය කරමින් බුදුපියාණන්ට නමස්කාර කරති. ඒ අනුව සිතති. යම් මහරජ කෙනෙක් හෝ මහාමාත්‍යයෙක් යම් කෙනෙකුට නමස්කාර කරන විට අන් අයද නමස්කාර කරන්නාක් මෙනි. පූජා සත්කාර කරන්නාක් මෙනි. අජපාල නුගරුක මුලදි බුදුපියාණන්ගේ සිත මන්දෝත්සාහී වෙත්ම පෙනී සිටි මහා බ්‍රහ්මයා වැඳ එකත්පස්ව සිට “ස්වාමීනි, බුදු උපත දුර්ලභය. ඔබවහන්සේ මෙපමණ කලක් දුක් වින්දේ සියලු සතුන් සංසාර සාගරයෙන් එතෙර කිරීම සඳහාය. ඔබවහන්සේ ධර්මය දේශනා කරන්න. එය අවබෝධ කරන්නෝ ඇති වන්නාහ” යයි දහම් දෙසීමට ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් බුදුපියාණෝ බුදු ඇසින් ලොව බලන්නේ කෙලෙස් අඩු අය හා වැඩි අයද, දහම් දත හැකි අය හා නොදත හැකි අයද ඇති බව දුටු සේක.

උපකාරක ග්‍රන්ථ

මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය,

මිළින්ද ප්‍රශ්නය (47. බ්‍රහ්මාරාධනා ප්‍රශ්නය)