අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)250
දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 44
සත්වන සහ අටවන තථාගත බලය.
සත්වන තථාගත බලය.
ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.
‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’
ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත අෂ්ට විමෝක්‍ෂයන්ගේ ද සවිතර්කසවිචාර සමාධ්‍යාදි තෙවැදෑරම් සමාධීන්ගේ ද ප්‍රථමධ්‍යානසමාපත්‍යාදි නව වැදෑරුම් සමාපත්තීන්ගේ ද සංක්ලේශ – ව්‍යවදාන – ව්‍යුත්ථාන දන්නා නුවණ තථගත බලයක් බව එයින් දැක්විණ.
ධ්‍යානභාවනා කරන්නා වු ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබා ද තවම ධ්‍යානයක් ලැබී නැත යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුව ද අකර්මස්ථානයකැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නො ලැබ ම තමන් ධ්‍යාන ලබා ඇත ය යි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයකැ යි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටිනා අතර ඇතැම්හු නිද්දට වැටෙති. ධ්‍යානය නො ලැබම ධ්‍යාන ලදිමුය යි සිතන්නවුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානය යි සිතා ගැනීමෙනි. මෙකල ඇතමුන් සමාධි වීමු යි කියන්නේ ද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේම ධ්‍යානාදිය පිළිබඳ නියම තත්ත්වය දන්නාහ. එය සත්වන තථාගත බලය ය.
අටවන තථාගතබලය.
අතීත ජාති දන්නා නුවණ
“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එව’ මායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං ඒවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධුපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං? එකම්පි ජාතිං ද්වෙපි ජාතියෝ -පෙ – ඉතිං සාකාරං සඋද්දෙසං? අනෙකවිභිතං පුබ්බෙනිවාසං අනුස්සරති ඉදම්’ පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති-පෙ- පවත්තෙති. ”
මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත භව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානබලයක් බව ය. තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාමයකින් මේ නම් ගෝත්‍රයක් ඇති ව මෙ බඳු ආහාර පාන ඇති ව මෙ බඳු සුව දුක් ඇති ව මෙ පමණ ආයු ඇතිව විසුවෙමි ය. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි ය. එහි මෙ බඳු ශරිරයක් විය. මෙ බඳු පැහැයක් ඇත්තේ වීමි ය. මෙ බඳු නමක් විය. අසවල් ගෝත්‍රය විය. මේ මේ දේ ආහාර කොට ගතිමි ය. මෙ බඳු සුව දුක් ලැබීමි ය. මේ පමණ ආයුෂ විය මෙසේ පිරිසිදු ලෙස ම අනේකකල්පකොටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේලා දන්නා සේක.
පර්‍ය්‍යන්ත පරිච්ජේදයක් නැති ව කැමති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලොවුතුරා බුදුනට ඇත්තේ ය. එක්තරා ප්‍රමාණයක්න් අතීතජාති දැකීමෙහි සමත් පුද්ගලයො ඇතහ. ඔවුන්ගෙන් ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වු අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පසක් දකිති. ධ්‍යානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක අතීත ජාති දකිති. නාමරූප පරිච්ඡෙදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබල ය. ඒ බැවින් ඔවුහු සතළිස් කපින් ඔබ අතීතය දක්නට සමත් නො වෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප සියයක දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණැති බැවින් අසූ මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍රකරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය