අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)229
ෂට් අසාධාරණ ඤාණ 08
අසිරිමත් බුදුගුණ වරුණ 23
මහාකරුණා සමාපත්ති ඤාණය 01
මහාකරුණා සමාපත්ති ඤාණය කියාපුවාම අපේ සන්තානවලට ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැවී පෙනෙනව. ඒ කුමක් නිසාද? දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරයක් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මහාකරුණා සමාපත්තියට සමවදිනවා. භාග්‍යවතුන් වහන්සේගේ තිබුණ, පංචවිධ බුද්ධ කෘත්‍ය කියල දිනචරියාවක්. මේක සැමදාම අඛණ්ඩව පැවැත්වුවා. පංචවිධ බුද්ධ කෘතියෙහි දවසේ අන්තිම පශ්චිම යාමය කොටස් තුනට
සෑම දවසේ මේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උදේ පාන්දර දොළොස්කෝටි ලක්ෂ වාරයක්, ඉන් අනතුරුව ඉන්ද්‍රිය පරෝපරිය, ආසය අනුසය ඥාණ දෙකෙන් දස දහසක් ලෝකධාතුව බලා වදාරනවා. ඒ ඤාණ දෙකට කියනව බුදු ඇස කියලා.
මගඵල නිවන් ලබන්න හේතු සම්පත් ඇති අය ඒ බුදු ඇසට මැවී පෙනෙනව. මේ බුදු ඇසින් බලා, දවසේ වැඩ සටහන සනිටුහන් කරගන්නව. නැවත සන්ධ්‍යාවේ ධර්ම දේශනාවෙන් පසුව, බෞද්ධයන් විහාරස්ථානයෙන් පිටව ගියාට පසුව පැපහසු වෙලා, භික්ෂු සංඝයා විහාරස්ථානයට රැස්වන තුරු සන්ධ්‍යාවේ ද දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනව. ඉන් අනතුරුව නැවතත් බුදු ඇසින් දස දහසක් ලෝකධාතුව බලා වදාරනවා. මේ විදියට දොළොස් කෝටි ලක්ෂ වාර ගණන් දිනකට දෙවාරයක්, සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහාකරුණා සමාපත්තියට සමවදිමින්, ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහ මුළුල්ලේ ලෝකයාට ශාන්ත වැඩ සටහනක් පවත්වා වදාළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්ගේ සන්තානයේ තිබෙන කරුණාව, මහා කරුණාව නමින් හඳුන්වනවා.
කරුණාව
කරුණාව කියන්නේ කුමක් ද? කියන එක පළමුවෙන් තෝරාගන්ට ඕනෑ.
පරදුක්ඛේ සති සාධුනං හදේ කම්පනං කරෝතීති කරුණා.
ඒ අර්ථ කථාවේ දැවෙන තේරුමක්. අනුන්ගේ දුකක් දුටු තැන, සත්පුරුෂයන්ගේ හදවත උණුවන ස්වභාවයට තියනවා කරුණාව කියලා. කිරිබොන දරුවෙක් ඉන්න අම්මා කෙනෙකු දරුවා හඬන වේලාවේ අම්මාට කිරි උණනවා. කිරි එරෙනවා. ඒ කුමක් නිසාද? ඒ දරුවා දුකින් මුදා ගැනීමේ පරම කරුණාවෙන්. මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි. තිරිසන්ගත සතුන්ට පවා මේ තමන්ගේ දරුවන් ගැන පුදුම උණු වීමක් තිබෙනවා.මේ තරම් තිරිසන්ගත සතුන්ට පවා තමන්ගේ පැටවුන් කෙරෙහි බලවත් උණුවීමක්, කරුණාව, මෛත්‍රියක් තියෙනවා. ඒ වගේ තමයි සෑම සත්වයන් වෙත දුකට පත් වූ සත්වයන්
වෙත අනුන්ගේ හිත්තේ උණුවෙන ස්වභාවයක්, අනුන්ගේ හිතේ ඇතිවන අනුකම්පා ස්වභාවයක් වෙයි නම්, ම්කට කියනව කරුණාව කියලා.
කීනාතිවා පරදුක්ඛං හිංසතීතිවා කරුණා
තවත් තේරුමකින් කරුණාව හඳුන්වනවා. එනම් අනුන්ගේ දුක නසන්නෙමුයි, කරුණාව නම් වනවා. අනුන්ගේ දුක නසන ආකාරයෙනුයි හිතේ කරුණාව පහළ වෙන්නේ.
කිරියතිවා දුක්ඛිතේසු ඵරණවසේන පසාරි යතීති කරුණා
දුක්ඛිත සත්වයන් වෙත, මෛත්‍රිය වඩන්නාක් මෙන් වඩන බැවින් ද, කරුණාව කියල හඳුන්වනවා. මෙන්න මේ “කරුණා” කියන අකුරු තුනේ වචනයේ තේරුම අට්ඨ කථාවල මෙලෙස හඳුන්වල තිබෙනවා.
පනස් දෙකක් වූ චෛතසිකයන් අතුරින්, කරුණාව අයිති වෙන්නේ, සෝභන චෛතසික රාශියටයි. ඒ අතුරෙන් දෙකක් තිබෙනවා අප්පමඤ්ඤා කියලා. “කරුණා සහ මුදිතා” එයින් ඒ කරුණා චෛතසිකය ශෝභන චෛතසිකයක්. මේ කරුණා චෛතසිකය සිතේ පහළ වෙන්නේ සත්පුරුෂයන්ගේ
සන්තානවලයි. ඒ සත්පුරුෂයන්ගේ සිත්වල පහළ වන කරුණාවෙන්, තමන් දුකින් මිදී, අන් අය දුකින් මුදවා ගැනීමේ ආකාරයෙනුයි එම කරුණාව පවතින්නේ. එයින් ලෝක සත්වයන් වෙත පවත්වන කරුණාව අතුරෙන්,
කෝටියක් මව්වරුන්ගේ කරුණාවට වඩා,
කෝටියක් පියවරුන්ගේ කරුණාවට වඩා,
කෝටියක් බ්‍රහ්මයන්ගේ කරුණාවට වඩා,
කෝටියක් දෙවියන්ගේ කරුණාවට වඩා,
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේන්ගේ කරුණාව පිහිටා තිබෙනවා. පැතිරීම් වශයෙන් විශාල බැවිනුත්, සන්තාන වශයෙන් විශාල බැවිනුත්, භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේන්ගේ සන්තානයේ පහළවන කරුණාවට කියනව “මහා කරුණාව” කියලා. සැබැවින් ම මේ කරුණාව නිසයි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙන්නේ.
දීපංකර පාදමූලයේ දී, අනිච්චාවත සංඛාරා කියන ගාථාව වැනි සතර පද ගාථා මාත්‍රයක් ඇසූ කෙණෙහි, සිව්පිළිසිඹියා ඤාණ සහිතව මහා රහත් භාවයට පත් වීමේ භාග්‍යය සුමේධ තාපසයන් වහන්සේට තිබුණා. එදා උන්වහන්සේ මෙසේ කල්පනා කළා,
කිම්මේ ඒකේන තිණ්ණේන පුරිසේන ථාම දස්සිනා
සබ්බඤ්ඤුතං පාපුණිත්වා තාරෙම් ජනතං බහුං
එක්කෙනෙක් වූ මම, මේ දුකෙන් මිදීමේ ඇති තේරුම කුමක් ද? දෙවියන් සහිත ලෝකයා ද දුකෙන් මුදවන්නට මම මතු බුදුවෙවා කියලා උන්වහන්සේගේ සිතේ කරුණාව පහළ වුනා. එදා උන්වහන්සේ ,
1.මිනිසත් බව, 2. පුරුෂ ආත්මභාවය, 3. රහත්වීමේ හේතු සම්පත්තිය, 4. ශාස්තෘන් වහන්සේ නමක් දැකීම, 5. පැවිදි වී සිටීම, 6. ධ්‍යාන අභිඥාලාභීව සිටීම, 7. ජීවිත පූජාවෙන් බුද්ධ පූජාවක් පැවැත්වීම සහ 8. බුද්ධත්වය ලැබීමේ දැඩි ඡන්දතාවය කියන කරුණු අට සම්පූර්ණ වීමෙන් එදා බුද්ධ රාජ්‍යය පිණිස පියවර තැබුවේ, අනන්ත අපරිමාණ ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන්, මේ අෂ්ඨ ධම සමවධානයෙන් එදා නියත විවරණ ලබා ගත් මහා බෝධි සත්වයන් වහන්සේ , දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා යනාදි පිළිවෙළින් සමතිංසත් පාරමී ධර්මයන් පුරා වදාළේ මහා කරුණාවෙන්, පංච මහා පරිත්‍යාග ත්‍රිවිධ අර්ථ චර්යා පිරුවේ මේ මහා කරුණාවෙන්මයි.