අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)227
ෂට් අසාධාරණ ඤාණ 06
අසිරිමත් බුදුගුණ වරුණ 21
- ආසයානුසයේ ඤාණය
කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයේ ඤාණං
තථාගතයන් වහන්සේගේ සන්තානයේ පිහිටි සත්වයන් පිළිබඳ ආසයානුසයේ ඤාණය නම් කුමක් ද?
ඉධ තථාගතෝ සත්තානං
ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං
ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බේ
සත්තේ පජානාති.
මේ ආසයානුසයේ ඤාණයට මාතෘකාවයි. තථාගතයන් වහන්සේ ලෝක සත්වයාගේ 1. ආසය දන්නවා. 2. අනුසය දන්නවා. 3. චරිතය දන්නවා. (පූර්‍වකෘතකර්‍ම) 4. අධිමුත්තිය දන්නවා. 5. භව්‍ය 6. අභව්‍ය සත්වයන් දන්නවා. මෙම කොටස් හය භාග්‍යවතුන් වහන්සේලා විසින් සම්මා සම්බුදුවරයෙකුට පමණක් සීමාවූ විශේෂ ඤාණයකින් දැනගන්නවා. ඒ දන්නා දැනගන්නා වූ වූ ඤාණය යි ආසය අනුසයේ ඤාණය කියා හඳුන්වනු ලබන්නේ.
මෙහිදී ආසය, අනුසය කියන වචන දෙකට චරිත අධිමුත්ති දෙකත්, භව්‍ය අභව්‍ය දෙකත් ඇතුළත් වෙනවා. එනිසා තමයි ආසයානුසයේ ඤාණය කියල මේ කෙටි වචනයෙන් හඳුන්වන්නේ. එසේ නැත්නම් චරිත, අධිමුත්ති, භව්‍ය, අභව්‍ය කියන කොටස් හතරත්, මේ වචන දෙකෙන් කියයුතු වෙනවා.
සරවඥයන් වහන්සේ බෝධි මූලයේ දී අරහත් මාර්ග ඤාණය ප්‍රතිලාභ කරන කොටම, තමන් වහන්සේගේ සන්තානයේ පහළ වූ බුද්ධ චක්ඛු කියන මේ ඉන්ද්‍රිය පරෝපරිය ඤාණය, සහ ආසය අනුසය ඤාණය යන ඤාණ දෙකෙන් ලෝකධාතුව බලා වදාළේ. නෙලුම් පොකුණක, මානෙල් පොකුණක නෙලුම්, මානෙල් කැකුළු අවස්ථා හතරකින් තිඛෙන ආකාරය උන්වහන්සේට අරමුණු වුනා. නෙලුම් මානෙල් විල්වල, මඩයට, දිය යට හටගෙන තිඛෙන නෙලුම් මානෙල් කැකුළු සමහර ඒවා වතුරෙන් උඩට මතුවෙල, හිරුරැස් වැටෙන විටම පිපෙන්න සූදානමෙන් තිඛෙනවා.
ඇතැම් නෙලුම් මානෙල් කැකුළු දිය මට්ටමට පවතිනවා. ඒවා දවසකින්, දෙකකින් නමුත් පිපෙන්ට පුළුවන්. තවත් සමහර ඒවා දියේ යට තිඛෙනවා. දින ගණනාවකින් හරි ඒවා පිපෙනවා. තවත් සමහර නෙලුම් මානෙල් කැකුළු තිඛෙනවා විල් පතුලේම. ඒවා කවර කලෙක, කවර දිනෙක පිපෙයි ද කියා කියන්නට බැහැ. ඒ වගේම මේ ලෝකධාතුවෙහි සත්වයන් කොට්ඨාස හතරකට උන්වහන්සේ දැක වදාළා.
උද්ඝටිතඥ
විපඤ්චිතඥ
නෙය්‍ය
පදපරම මේ තමා එම පුද්ගල කොට්ඨාස හතර.
- උද්ඝටිතඥ
උද්ඝටිතඥ කියන්නෙ ධර්ම දේශනාවක් සඳහා ධර්ම පාඨයක්, ධර්ම ගාථාවක් මාතෘකා කළ පමණින් ඒ මාතෘකාව තුළින් එය දරාගෙන, නුවණින් කරුණු වටහා ගෙන, ඒ මොහොතේ ම මාර්ගඵල නිවන අවබෝධ කර ගන්නන්ට කියනවා උද්ඝටිතඥ පුද්ගලයෝ කියලා. ශාරීපුත්ත, මහ මුගලන්, දාරුචිරිය මහරහතන් වහන්සේලා වැනි උත්තමයෝ එම උද්ඝටිතඥ පුද්ගල සංඛ්‍යාවට ගැනෙනවා.
- විපඤ්චිතඥ
තවත් සමහර අය ඉන්නවා ධර්ම මාතෘකාවක් කරලා එය විස්තරාත්මකව දේශනා කරද්දී මඟඵල, නිවන්සුව අවබෝධ වෙනවා. ඒ උතුමන්ට කියන්නේ, විපඤ්චිතඥ පුද්ගලයෝ ̃ කියලා.
- නෙය්‍ය
තවත් සමහර කෙනෙක් ඉන්නවා ධර්මය ශ්‍රවණය කරලා එ තුළින් මාර්ගඵල නොලබා, සීලයක පිහිටා කෙලෙසුන් තුනී කරමින්, සල්ලේඛ ප්‍රතිපත්ති අනුගමනය කරමින්, සමථ විපස්සනා භාවනා වඩමින්, ඒ ජීවිතේ කවදාහරි මඟඵල නිවන් ලබනවා. ඒ අයට කියනවා නෙය්‍යය පුද්ගලයෝ ̃ කියලා.
- පදපරම
තවත් සමහර අය ඉන්නවා, කොපමණ බණ ඇසුවත්, කොපමණ සිල් රැක්කත්, කොපමණ භාවනා කළත්, මඟඵල නිවන් නොලබන අය. එවැනි අයට කියන්නේ පදපරම පුද්ගලයෝ ̃ කියලයි.
මෙම කොටස් හතරට අනුව කොටස් තුනක් ම මඟඵල නිවන් සුව ලබන්නට සුදුස්සන් බව දැනගන්නේ උතුම් වූ බුද්ධ ඤාණ ධාතු අතුරින් ඉන්ද්‍රිය පරෝපරිය ඤාණය, සහ ආසය අනුසය ඤාණ දෙකෙන්. ඒ දෙකටයි බුදු ඇස කියා කියන්නේත්. මෙම බුදුඇස සෑම දවසේ ම අලුයම් කාලයේත්, සවස් කාලයේත් දෙවාරයක් ම ලෝකධාතුව වෙත විහිදුවනවා.
ආසය
අපි හොඳට අහල පළපුරුදු වචන තියෙනවා ජලාශය, ගුහාසය, බිලාසය, අධ්‍යාසය’ කියලා. මේ ආසය කියන්නේ කුමක් ද? රැස්වෙන තැන, තැන්පත් වෙන තැන, නවතින තැන, ධර්මයට අනුව කියනවා නම් පරිභාවිත බව. ඒ කියන්නේ සිතේ පළපුරුද්ද. සිතේ පළපුරුද්දෙන් පිහිටාගෙන සිටින ස්ථානයට කියනවා ආසය ̃ කියලා.
යම්කිසි දෙයක් රැස්වෙලා තියෙනවා නම් එතැනටත් කියනවා ආසය කියලා. ජලාශය කියන්නේ ජලය රැස්වෙන ස්ථානය. ගුහාසය කියන්නේ යම්කිසි ගුහාවක් ආශ්‍රය කරන ගුහාවක් ඇති තැන එහි වාසය කරන පුද්ගලයාට කියනවා ගුහාසයා කියලා. බිලාශය කියන්නෙත් එහෙමයි. යම්කිසි කෙනෙක් වාසස්ථානයක් හැටියට භාවිත කරනවා නම් ඒ ස්ථානයට කියනවා ආසය කියලා.
රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ කියන මේ ස්කන්ධ පහේ දැඩි සේ ඇලී ගත් සත්වයා නම් පුද්ගලයාගේ චිත්ත සන්තානයේ අතොරක් නැති මෙම සංසාරයේ සැරිසැරීමෙන් රැස්වූ කෙලෙස් ආසව නමින් හඳුන්වනවා.
අනුසයෝ
සන්තානය තුළ නොනැසී, ප්‍රහීණ නොවී, අවස්ථානුකූලව පැන නැගීමට සුදුසු කෙලෙසුන්ට කියනව අනුසය කියල.
මාර්ග ඤාණයන්ගෙන් ප්‍රහීණ නොකළ හෙයින්, නැවත නැවත අවස්ථානුකූලව, නයා පෙණේ කරන්නා වාගේ මතුවන ස්වභාවය ඇති කෙලෙසුන්ට අනුසය කියල කියනව. අප්‍රහීණ අර්ථය කියන්නේ ඒකයි.
හරියට ලිඳක පතුලේ තැන්පත් වී තිඛෙන්නා වූ රොන්මඩ වාගේ. වතුර ඇති ළිඳක සමහර විට උඩින්, මතුපිටින් වතුර පිරිසිදුව තිඛෙන්නට පුලුවන්. නමුත් ලිං පතුලේ තියෙන රොන්මඩ ලී කැබැල්ලකින් හෝ ගල් කැටයකින් හෝ භාජනයකින් හෝ කැලැත්තුවොත් (කැළඹුණොත්) මු වතුරම බොර වෙනවා. අන්න ඒ වාගේ තමයි මාර්ගඵල නොලැබූ පෘථග්ජන සන්තාන අප්‍රහීනතාවෙන් පවත්නා වූ ශක්තිමත් භාවයට පත් වූ කෙලෙස් හතක් තිඛෙනවා.
යම් අරමුණක් ලැබුණ වෙලාවේ නයා පෙණේ කරන්නා වාගේ, අවස්ථානුකුලව ඒ කෙලෙසුන් ක්‍රියාකාරී බවට පත්වෙනවා. පරියුට්ඨාන, වීතික්කම බවට පත්වෙනවා. ඒ තත්වයට පත්වීමට හැකි කෙලෙස් හතට තමයි.
1. කාමරාගානුසයෝ 2. පටිඝානුසයෝ 3. මානානුසයෝ 4. දිට්ඨානුසයෝ 5. විචිකිච්ඡානුසයෝ 6. භවරාගානුසයෝ 7. අවිජ්ජානුසයෝ කියල කියන්නේ.
සම්මා සම්බුදුවරයෙකු විසින් මෙම කෙලෙස් මට්ටම් ඉහතින් දැක්වූ අකරයට 1. ආසය වශයෙන් 2. අනුසය වශයෙන් 3. චරිතය වශයෙන් (පූර්‍වකෘතකර්‍ම) 4. අධිමුත්තිය වශයෙන් 5. භව්‍ය වශයෙන් 6. අභව්‍ය වශයෙන් මැන බලන විශේෂ නුවනට කියනවා ආසයානුසයේ ඤාණය කියලා.
( ලිපිය දීර්ඝ වන නිසා මෙම කරුණු වෙන් වෙන් වශයෙන් වෙන් නොකොට කෙටි කරන ලදී. )