අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)211

 

අසිරිමත් බුදුගුණ වරුණ 04

උන්වහන්සේ මෙසේ “විජ්ජා-චරණ සම්පන්න” නම් වූ සේක.

නව අරහාදී සම්බුදුගුණ අතුරෙන් තෙවැන්න විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය යි. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත හෙයින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නමින් හඳුන්වනු ලබනවා. විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව “විජ්ජා” යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කරණු ලබනවා. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙන් ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙන්ද විසිතර සහිතව දැනගන්න පුළුවනි.

අෂ්ටවිද්‍යාවන් පහත දැක්වේ.

  1. විපස්සනා ඤාණය – නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ අවබෝධ කරගන්නා ඥානය
  2. මනෝමය ඉද්ධි ඤාණය – මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය
  3. ඉද්ධිවිධ ඤාණය – විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඇති ඥානය
  4. දිබ්බසෝත ඤාණය – පියවි කනට නො ඇසෙන සියුම් වූ ඉතා දුර ඇති ශබ්ද ඇසීමේ ඥානය
  5. පරචිත්තවිජානන /චෙතෝපරිය ඤාණය – අනුන්ගේ සිත්වල ස්වභාවය හඳුනාගන්නා ඥානය
  6. පුබ්බේනිවාසානුස්සති ඤාණය – තමන්ගේ ද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාතීන්ගේ පිළිවෙළ නාම ගෝත්‍ර වශයෙන් දක්නා ඥානය
  7. දිබ්බචක්ඛු / චුතූවුපපාත ඤාණය – කර්මානුරූපීව උපදින මැරෙන සත්වයන්ගේ ස්වරූපය දක්නා ඥානය
  8. ආසවක්ඛය ඤාණය – චතුස්සත්‍යය තත් වූ පරිදි දැන කාම ආදි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ලැබෙන ඤාණය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යා අටෙන් යුක්ත බැවින් උන්වහන්සේ විජ්ජා සම්පන්න නම් වනවා.

​මෙම සම්බුදු ගුණයෙහි දෙවැනි ලක්‍ෂණය චරණයයි. එය බුද්ධ ගුණයක් සේ දැක්වෙන නමුත් බුදුවරුන්ගේ චරණ ධර්ම විවරණය වී ඇති සූත්‍රයක් ත්‍රිපිටකයේ ඇතුළත් වී නැහැ. ශ්‍රාවකයන් අරමුණු කොට පැහැදිලි කළ චරණ ධර්ම නවයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වනවා. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි එබඳු ධර්ම පසළොසක් විස්තර වනවා.

  1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
  2. ඉන්ද්‍රිය සංවරය
  3. ආහාරයෙහි පමණ දැනීම
  4. ජාගරියානුයෝගය
  5. ශ්‍රද්ධාව
  6. හිරිය
  7. ඔත්තප්පය
  8. බහුශ්‍රැත භාවය
  9. වීර්යය
  10. සිහිය
  11. ප්‍රඥාව
  12. ප්‍රථම ධ්‍යානය
  13. ද්විතීය ධ්‍යානය
  14. තෘතීය ධ්‍යානය
  15. චතුර්ථ ධ්‍යානය

උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත වනවා. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වනවා.

මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පිරිවරා සිටිනවා. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදනු ලබනවා. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේයි. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා. දුප්පටිපන්න නො වෙනවා. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙනබව විශුද්ධි මාර්ගයේ පවසනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – භයභෙරව සූත්‍රය, අම්බට්ඨ සූත්‍රය, සේඛ සූත්‍රය