අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)206
ඥාන දර්ශන විශුද්ධිය සහ බුදුවීම (පච්ඡිම යාමය)
සච්චානුලෝමික ඤාණය
මිට පෙර ලිපිය නිම වුනේ සච්චානුලොමික ඤාණය පහලවුනා යනුවෙන්. සච්චානුලොමික ඤාණය හෙවත් අනුලෝම ඤාන යනුවෙන් හඳුන්වන්නේ අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් පහළ වූ විදර්ශන ඤාන අටටත් ඉන් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන දෙ පක්ෂයට ම ගැළපෙන පරිදි ගෝත්‍රභූඥානයට මුලින් ඇති වන පරිකර්ම උපචාර අනුලෝම යන තුන් කාමාවචර මහා කුසල සිත්හි පහළ වන නුවණයි. මෙම නුවණ සානුලොම විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, සංඛාරුපෙක්ඛා විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යනුවෙන්ද හඳුන්වනවා. දුඃඛානුදර්ශනය පටන්, කොට සත්‍යානුලෝම ඤානය තෙක් ඇත්තාවූ මේ නවය නව විදර්ශනඤාන නම්වනවා. මොහු පටිපදාඤාණ දස්සන විසුද්ධියේ අවයවයෝයි.
ගෝත්‍රභූ ඥාන ලාභය
මෙතැන් සිට ඔබ හට අසන්නට ලැබෙන්නේ ඔබ බොහෝවිට අසා ඇති ගෝත්‍රභූ ඥානය පිළිබඳව. ගෝත්‍රභු ඤාණය යනුවෙන් හඳුන්වන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මෙමින් ආර්යය ගෝත්‍රයට පැමිණෙන සන්ධියෙහි (අනුලෝම ඤානයටත් සෝවාන් මාර්ග ඤානයටත් අතර) නිවන මුලින් ම දකිමින් පහළ වන ඤානයයි. මෙය අන්‍ය මාර්ගවලට මුලින් ද පහළ වෙතත් සෝවාන් මඟ හැර අන් සකෘදාගාමී ආදී මාර්ගවලට මුලින් පහළ වීමේ දී “චෝදන” නමින් හඳුනනු ලබනවා. අප මහා බෝසතාණන් වහන්සේ මහා විර්යයකින් පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය පහළ කරගනු ලැබුව.
ඥාන දර්ශන විශුද්ධිය බුදුවීම
ගෝත්‍රභූ ඥානය පහළ වී නිරුද්ධ වීමෙන් අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින් ) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ වුනා.
පච්චවෙක්ඛණ ඤාණයෝ
එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වුනා.
යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය) පහළ වුනා. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූවා.
නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගන්නට වුනා. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය ද (අනාගාමි මාර්ගය) පහළ වුනා.
සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණීම.
එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වුනා. තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දුටු උන්වහන්සේ පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම චෝදාන ඥානයෝ ද පහළ වූවා. තව දුරටත් සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන් ) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ කරගනු ලැබුවා. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්ධි සම්පාදන යයි පවසනවා.
අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝද පහළ වූවා.
මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්ධ ගුණයෝ ද සමෘද්ධ වූවා.
මෙසේ බෝසතාණන් වහන්සේ හිරු බැසයාමට පෙරම මාර බලය පරාජය කොට රන් පබළු දැලකින් පුදන්නා ක් මෙන් සිවුර මත බෝ අංකුර වැටෙද්දී පළමු යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ද, දෙවෙනි යාමයේදී දිවැස් ඤාණයද ලබා පච්ඡිම යාමයෙහි පටිච්ච සමුප්පාදය හේතු ප්‍රත්‍යය ඥානය ද ලබා ගත්තා. මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුනා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා , ජාතක අට්ඨකතා 01,
බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ර්තධාර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.