අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)204
ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය (මධ්‍යම යාමය)
ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂු ඥානය පහළවීම.
නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමු කිරීමේදී ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂුරභිඥානය පහලවුනා. මරණයට ඉතා ළං වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තා වූ දැ යි කළකම් පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින නන් වැදෑරුම් සත්ත්වයන් පෙනෙන්නට පටන්ගත්තා. උන්වහන්සේ මෙය බෝධිරාජ කුමාර සූත්‍රයේ මෙලෙස සඳහන් කරනවා.
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්ත්වයන් දකින්නට වුනෙමි.
කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය
මෙසේ සත්ත්වයන්ගේ ච්‍යුති උපපත්ති දැක්මෙන් තත් ප්‍රතිච්ඡාදක මෝහය දුරු විය. “මම අතීතයෙහි වීම් ද , නොවීම ද යන ආදි වශයෙන් සොළොස් පරිද්දෙකින් වන සියලු සැකය ද ප්‍රහීණ වුනා. මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය යි පවසනවා.
බුද්ධත්වයට පෙර ස්වකීය ඤාණයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධකොටගත් අප මහා බෝසතාණෝ.
අපේ බුදුහාමුදුරුවෝ ගෞතම සූත්‍රයේ කියනවා ” මහණෙනි මම පටිච්ච සමුප්පාදය අවබෝධ කලේ බුද්ධත්වයට පෙර බෝසත් අවදියේදී කියලා. උන්වහන්සේ ඒ තරම්ම ප්‍රඥාවන්තයි. මේ කියවෙන්නේ ඒ ගැන වුනත් ගෞතම සූත්‍රයේ තරම්ම සරළව විස්තරාත්මකව නෙවෙයි. ලිපිය දීර්ඝ නොකිරීම සඳහා පටිච්ච සමුප්පාද විස්තරය බුද්ධත්වයෙන් පසු මහා නිධාන සුත්‍රය ලියනතෙක් පසෙකට තැබුවා.
ඒ දීර්ඝ රාත්‍රියේ තුන් වැනි යාමය ද පැමිණියා. මහ බෝසතාණන් වහන්සේ පළමු සේ ම ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිට ස්කන්ධ පස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට වුනා. ඉන්පසු පටිච්ච සමුප්පාද අංග ආරෝහණ අවරෝහණ වශයෙන් මෙනෙහි කරන්නට වුනා. ඒ මගින් මෙතෙක් අවුලක් වූ නූල්බෝලයක හැඩය ගත් භව චක්‍රය සෙමින් සෙමින් ලෙහෙන්නට වුනා. කලාප සම්මර්ශනයේ සිට එක් එක් පටිච්චසමුප්පාද අංගය සත්තානුපස්සනාවීථියට බහාලමින් විමසන්නට වුනා. මෙසේ විවසුන් වඩමින් අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාව ද, විරාගානුපස්සනායෙන් රාගය ද, නිබ්බිදානුපස්සනායෙන් නන්දිය ද, නිරොධානුපස්සනායෙන් සමුදයය ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් (පටිනිස්සග්ග = අත්හැරීම දුරුකිරීම) ආදානය ද (ආදාන =අල්ලා ගැනීම, ග්‍රහණය, පිළිසිද ගැනීම ) දුරු කරනු ලැබුවා.
මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනය
නැවැත සියලු සංස්කාරයන් නාම රූප වශයෙන් දෙකට බෙදා උදය ව්‍යය වශයෙන් බලන උන් වහන්සේට ආලෝක පීති පස්සද්ධි ඤාණ සද්ධා සති සුඛ උපෙක්ඛා විරිය නිකන්ති යන විදර්ශනා උපක්ලේශ දහය පහළ වුනා. ඉන්පසු ඒ ආලෝක ප්‍රීති ආදි ධර්මයන් නුවණින් බලන සේක්, “තෘෂ්ණා දෘෂ්ටි මානයට අරමුණු බැවින්” මොහු මාර්ගය නො වෙත්, තරුණ විදර්ශකයාට ධර්මතා වශයෙන් පහළ වන විදර්ශනෝපක්ලේශයෝ ම බව වැටහුණා.
මොවුන්ගෙන් මිදුණු විදර්ශනා විථියට පිළිපන් නුවණ ම මාර්ගය වේ යැ” යි මෙසේ මාර්ගාමාර්ග පිරික්සා දැන ඒ ආලෝකාදීන් කෙරෙහි නො ඇලී සිත විදර්ශනා භාවනාවට ම යොමු කරනු ලැබුවා. මෙහි උන්වහන්සේට පහළ වූ මගනොමග පරීක්ෂා කැර තීරණ කොට ගන්නා තියුණු විදර්ශනා ප්‍රඥාව මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි සම්පාදනයයි පවසනවා.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
ජාතක අට්ඨකතා 01,බෝධිරාජකුමාර සූත්‍රය ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය) ,
බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්ත ගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.