අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 190
යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය
අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස අනේක වූ දුක්කම්කටුලු විදිමින් බුද්ධත්වය කරා දිනෙන් දින ලගා වෙද්දී බෝසතාණන්වහන්සේගේ ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්තා. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි සියල්ල ඒ තාක් අකුරට ම හරි ගිය බැවින් ඉතිරි ටිකත් එසේ ම හරියතැයි ද “මා පුතාණෝ බුදු වන්නාහු ම යැ” යි දැඩි විශ්වාසයෙන් දිනෙන් දින ලැබෙන අසුභ ආරංචිවලින් නො කැලැඹුණා. කොතරම් දුෂ්කර ව්‍රත පිරුවත් විපතක් නොවෙති යි තරයේ ම විශ්වාස කරනු ලැබුවා. එහෙත් බෝසතාණන් වහන්සේ ආහාර අඩු කිරීම් ආදී වශයෙන් කරන කය තැවීම් පිළිබඳ කිසි ම පුවතක් යශෝධරාවනට ආරංචි වෙන්නට ඉඩ තිබ්බේ නැහැ. ඒ වගක් ඇයට නොකියන ලෙසට ඒ රාජ පුරුෂයනට ද අණ කිරීමට අමතක කලේ නැහැ.
යශෝධරාවන් සිතා සිටියේ බෝසතාණන් වහන්සේ සාමාන්‍ය තවුසකු සේ ජීවත් වන බව පමණ යි. එහෙත් පසුකාලයේදී ඕ තමාට හිතවත් රාජපුරුෂයන් ගෙන් බෝසතාණන් බිම සැතපෙති යි අසා ඇයත් ඇඳ පුටු පරිහරණය අත්හරියා. කසට පෙවූ සිවුරු හඳිතැයි පොරොවතැ යි අසා තොමෝත් ආභරණ සුවඳ විලෙවුන් පාවිච්චිය හැර දමා කසට පෙවූ වස්ත්‍රයක් හැඳ කසට පෙවූ වතක් ම පෙරෙව ගත්තී ය. බෝසතාණන් කෙස් වැටිය සිඳ දැමූ පවත් අසා තොමෝ කෙස් වැටිය සිඳ දැමුවා. බෝසතාණන් වහන්සේ වළඳනුයේ එක් වේලක් පමණයැ යි තොමෝත් එක් වේලක් ම අහර ගත්තා. මෙසේ රජගෙහි හිඳම තපස්විනියක සේ කල් යැවුවත් හැම සැප පහසුවක්ම දෙමින් මැනැවින් රහල් කුමරු පෝෂිත කළා. ඔබට මතක ඇති වෙස්සන්තර ජාතකය. ඒ අවසන් ආත්මභාවය තෙක් ඇය අවසන් මොහොත වෙනතෙක්ම ලගින්ම සිටියා. මේ මොහොතේත් උපස්ථාන කරන්නට ඇත්නම් කියා සිය දහස්වාරයක් හිතෙන්නට ඇති. එහෙත් අද ඔවුන් දෙදෙනා දෙතැනක. තව ටික කලෙකින් මගේ ස්වාමිදරුවන් බුදු වී අවුත් අපට දුකින් මිදෙන මාර්ගය පෙන්වතියි, අපට විමුක්ති සැපය ලබවතියි උදාර අපේක්ෂා ඇත්තී අනාගත භාග්‍යය පතමින් කල් යැව්වා පමණක් නොවෙයි හැමදාම පෙරමග බලා සිටියා. සංසාරය පුරා කොතරම් එලෙස බලා ඉන්නට ඇතිද?
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.