අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 188

 

බුද්ධත්වය සඳහා සිදුකල අති මහත් දුෂ්කරක් ක්‍රියාව බුද්ධ වචනයෙන් 03

දිනෙන් දින කාලය මෙලෙස ගතවුනා. පස්වග තවුසන්ද උන්වහන්සේට හැකි උපරිම අයුරින් උපස්ථාන කරමින් බුද්ධත්වය ලබන දින තෙක් නොවසිල්ලෙන් ඇඟිලි ගනිමින් උන්වහන්සේගේ අසලම රැඳී සිටියා. කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි ඔවුන්හට මේ සුළු දිනගණන ඉවසා සිටීමට තරම් ඉවසිල්ලක් නැති බව පෙනෙන්නට තිබුණා. ඒ තමයි සසරේ ස්වභාවය. සසර පුරාවට එකිනෙකට බැඳී පැමිණි අත්වැල් සුළු මොහොතකින් ගිලිහී යන අවස්ථාවන්ද තිබෙනවා දිනුම් කනුව පෙනි පෙනී.

අප්‍රාණික සමාධියෙන් වෙන්වීම.

අප මහා බෝසතාණන් වහන්සේ මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස යෙන් වැලකි සිටීමෙන් සෙවූ චිත්ත සමාධිය අප්‍රාණික ධ්‍යාන වශයෙන් හඳුන්වනවා. එයින් පලක් නොවන බව වැටහී දැන් උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ කයට දුක්දීම තුලින් දුක කෙළෙවර කිරීමේ යම් මාර්ගයක් ඇත්ද එය අත්හදා බැලීමටයි. ඒ පිළිබඳව බුදුපියාණන් වහන්සේගෙන්ම අසා දැනගනීමට නැවතත් සුත්‍ර දේශනාවට යොමුවෙමු.

ලොම සිදුරුවලින් දෙවියන් විසින් දිව්‍ය ඕජස් ශරීරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. රාජකුමාරය, එවිට දේවතාවෝ මාවෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි, යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු ඔබ එයින් යැපෙන්නෙහිය.’ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

නිරාහාරයෙන් සිහිමුර්ජාවිම.

“රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක්, පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි, කියායි.

“රාජකුමාරය, ඒ මම පතක්, පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉත් ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස්මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත් ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

බඩ අතගානාවිට පිට කටුව ස්පර්ශවීම.

“රාජකුමාරය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

“රාජ කුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය, ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන්වන් සිවි ඇත්තේයි.’ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

හීන ග්‍රාම්‍ය පෘථග්ජන, අනාර්ථ, අනර්ථ සංහිත කාමසුකල්ලිකානු යෝගයත්, දුක්ඛ, අනාර්ය අනර්ථ සංහිත නිසා අත්තකිල මථානුයෝගයත් නො සෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලීම.

“රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි කල්පනා විය.

“රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මඟුල් දිනයෙහි සිහිල්වූ දඹරුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබෝධය පිණිස වන්නේයි අදහස් විය. රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය, රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි කියාය. රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ ප්‍රථමධ්‍යාන සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය කියාය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බෝධිරාජකුමාර සූත්‍රය – ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 4. රාජ වර්ගය