අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 176
මහාභිනිෂ්ක්‍රමණය 02
බෝසතාණන් වහන්සේ : ඔබ කවුද?
මම වසවර්ති මාරයා වෙමි.
මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුනා .
මහපොළව කරකැවී බෝසතාණන් වහන්සේට අවසන් වරට මාළිගය ඇතුළු නුවර පෙන්වීම.
මෙසේ බෝසතාණන් වහන්සේගේ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඩක් මෙන් අනපේක්ෂිතව හැරදමා උතුරුසල නැකත පවත්නා කාලවෙලාවේම නගරය සහ තමා මෙතෙක් කල් ජීවත් වූ මාළිගාවනද, ආදරණිය බිරිඳද, සිගිති පුතුද , පියා සුළුමව ඇතුළු මුළු නෑ හිතවත් සංහුරයම හැරදා යන්නට පිටත් වුනා. එහෙත් නගරයෙන් පිටත්වන මොහොතේම යලිත් තමා මෙතෙක් කල ජීවත් වූ නුවර දෙස ආපසු හැරී බලන්නට කැමැත්තක් ඇති වුයේ සමුගන්නට අවසර පැතීමට වාගේ. මේ සිතිවිල්ල උපන් කෙණෙහිම මහා පුරුෂය ඔබ පෙරුම්පිරුවෙ නැවතී ආපසු හැරී බැලීම සඳහා නොවෙයි කියන්නාක් මෙන් මහ පොළොව කුඹල් සකක් මෙන් කැරකැවී මාළිගය ඇතුළු නගරය බෝසතාණන් වහන්සේට පෙන්නුවේ ඔහුට ආපසු හැරෙන්නට අවසර නොදෙමින්. ඒ තමයි බුද්ධත්වය සඳහා මිහිකත දැක්වූ සහය එක අවස්ථාවක. බෝසතාණන් වහන්සේ නගරයට මුහුණලා නුවර දෙස බලා නැවතුණු ප්‍රදේශය කන්ථක අශ්වයා නැවතුණු සෑය වශයෙන් සනිටුහන් කොට යළි අසු ගමන්මගට අභිමුඛ කොට මහත් සිරි සොභාවයෙන් ඉදිරියටම ගියා.
මග දෙපස දෙවියන් විසින් දැල්වූ සැටදහසකට වඩා වැඩි පහන් වැටි සහ මදාරා මල් වැසි.
එදින දෙවියො බෝසතාණන් වහන්සේ යන මග පෙරටුව සැට දහසක් ආලෝක වැටි දල්වා සිටියේ ඒ මහා අභිනික්මනට ආශීර්වාද කරමින්. එසේම බෝසතාණන් වහන්සේගේ පිටුපස ද, දකුණු පස ද, වම්පස ද සැට සැට දහස බැගින් ආලෝක වැටි දරන්නට වුනා . සමහර දෙවිවරු හා නා, ගුරුළු ආදීහු ද දිව්‍යමය මල් සුවඳ සුණු ආදියෙන් පුදමින් පසුපසින් යන්නට වුනා. සමහර විට ඔබත් මමත් ඒ අතර ඉන්නටත් ඇති. ඝන වලාවකින් වැගිරෙන වැසී ධාරා මෙන් පරසතු මදාරා මල් වලින් අහස වැසී ගියා. දිව්‍යමය සංගීත හඬ දසත පැතිරී ගියා. හාත්පස අට වග බෙර සැටවග බෙර වශයෙන් සැට දහසක් බෙරවාදනය වුනා . ඒ එක්කම මහ මුහුද ඇතුළත් මහා මේඝනාදයක් ඇතිවුනා . යුගදුරු කුස මුහුද ගිගුම් දෙන කල මෙන් වුනා .
කන්ථක අශ්වරාජය බෝසතාණන් වහන්සේව ගමනාන්තය දක්වා එක් රැයකින් රැගෙන ඒම.
මෙසේ මහත් උපහාරයෙන් බෝසතාණන් වහන්සේ එක රැයකින් ම තුන් රජයක් ඉක්මවා තිස් යොදුනක් ගමන්කොට අනෝමා ගංතෙරට පැමිණ එහි නතර වුනා . ඔබ හිතනවද ඒ අශ්වරාජයාට ඊට වඩා දුර යන්නට බැරිව නතර වුනා කියලා. නැහැ, නොහැකිව නො වෙයි. ඔහු වනාහි එක සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සක නිම් වළල්ල වටා යන්නාක් මෙන් කෙළවරට ගොස් තමා සඳහා සැපයූ භෝජනය බුදීමට සමත්. එහෙත් එදා දෙව් නා ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඔසවා මල්ගැට ආදිය ඉවත් කරමින් ගමන් කිරීමට සිදුවීම නිසා ගමන ඉතා ප්‍රමාද වුනා . එම නිසා එක රැයකට තිස් යොදුනක් පමණක් ගමන් කළ හැකි වුනා .
මෙලෙස සෙමින් සෙමින් අනෝමා ගංතෙර වෙත පැමිණි බෝසතාණන් වහන්සේ ගංතෙර සිට ඡන්න ඇමති අමතා මේ ගග කුමක් දැයි විමසුවා. දේවයිනි, මෙම නදිය අනෝමා නම් වන බව ඔහු පවසා සිටියා. එවිට එකවරම බෝසතාණන් වහන්සේට මෙලෙස කියවුනා .
අපගේ පැවිද්ද? අනෝම වේ. ලාමක නො වෙයි යැයි පවසා විළුඹින් අසුට සන් කරනු ලැබුවා. කන්ථක අශ්වයා ද උඩට පැන අට ඉස්බක් පළල්වූ ගඟෙහි එතෙරට ඔවුන්ව පමුණුවනු ලැබුවේ බෝසතාණන් වහන්සේට අවසන් වශයෙන් කෙරෙන උපහාරයක් ලෙස වෙන්නට ඇති.
බෝසතාණන් වහන්සේ පැවිදිවීම කෙටියෙන්
බෝසතාණන් වහන්සේ අසුපිටින් බැස රිදී පටක් සමාන වැලි තලාවෙහි සිට ඡන්න ඇමති අමතන්නට වුනා .
බෝසතාණන් වහන්සේ
යහළු ඡන්න, ඔබ මගේ ආභරණද කන්ථක අසු ද රැගෙන ආපසු යන්න. මම පැවිදි වෙමි.
ඡන්න ඇමති
දේවයාණන් වහන්ස, මම ද පැවිදි වෙමි.
මෙලෙස තුන් වතාවක්ම ඔහු වැළකූ බෝසතාණන් වහන්සේ ආභරණද කන්ථක අසු ද ඡන්නට දී ආපසු යන ලෙස අණ කරනු ලැබුවා.
අනතුරුව බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුනා . කෙස්කලඹ පැවිද්දන්ට සරුප් නොවේ. බෝසතාණන් වහන්සේ කෙස් කැපීමට සුදුසු කෙනෙකු නැති හෙයින් තමාම දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන කපා දැම්මා. දෑගුල් පමණ වූ කෙස් දකුණට කැරකැවී හිස සමග ඇලී සිටිය. රැවුල ද එපමණ ම වුනා . බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළ කෙස්ද රැවුලද එපමණම වුනා . නැවත කිසිදිනක කෙස් රැවුල් බා තැබීමේ කාර්යයක් සිදුවුණේ නැහැ. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේ සිළුමිණ සහිත කෙස්කලඹ ගෙන මම බුදු වන්නේ නම් අහසෙහි සිටිවා නොඑසේ නම් බිම වැටේවා යි අහසට විසි කලා. කෙස්කලඹ යොදුනක් පමණ අහසට ගොස් නැවතුණා. සක්දෙවිඳු දිවැසින් දැක අවුත් යොදුනක් පමණ රුවන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය පිහිටුවූවා.
“ලෝකනායක බෝසතාණන් වහන්සේගේ උතුම් සුවඳ ගල්වන ලද ඒ කෙස් කළඹ අහසේම රැඳුනා. අප සාසනය නිරන්තරයෙන්ම සුරකින බෝසතාණන් වහන්සේගේ පාරමිතා පුර්ණයේ දී අවශ්‍ය සෑම විටකම උදවු උපකාර කල දහසක් නෙත් ඇතිi සක්දෙවිඳු ඒ මොහොතේදීත් එතැන අහසෙහි රැඳී සිටියා. අහසෙහි රැඳුන ඒ කෙස් කළඹ රන් කරඬුවකින් රැගෙන හිස් මුදුනින් පිළිගත්තා.”
නැවත බෝසතාණන් වහන්සේ ට මෙහෙමද සිතුණා. “මේ රාජකීය කසී සළුපිළි කිසිවක් ශ්‍රමණයන්ට සුදුසු නොවේ.” ඒ සමඟම කසුප් සම්බුදු කළ යහළු වූ ඝටීකාර මහා බඹු බුද්ධාන්තරයක් ගෙවුනද දැඩි මිත්‍ර භාවය නිසා “මාගේ යහළු බෝසතාණන් වහන්සේ අද මහබිනික්මන් කළහ. ඒතුමන්ට ද ශ්‍රමණයන්ට ද සුදුසු අටපිරිකර ගෙන යමි” සිතා, ශ්‍රමණ අටපිරිකර බෝසතාණන් වහන්සේට පිළිගැන්වූවා. අප මහා බෝසතාණන් වහන්සේ රහතන්වහන්සේගේ කොඩිය වූ තුන් සිවුර හැඳ පෙරවා උතුම් පැවිදි වෙස් ගෙන ඡන්නය, මාගේ වචනයෙන් මව්පියන්ට සුව බව කියව. බෝසතාණන් වහන්සේ ඡන්න ඇමතිට ආපසු ගමන සඳහා සමු දුන්නා. ඔහු බෝසතාණන් වහන්සේට වැද පැදකුණු කොට නැවත කපිලවස්තු පුරය බලා පිටත් වුනා .
කන්ථක අශ්වරාජයාගේ වියෝව සහ චන්න ඇමති හඬමින් ආපසු තනිවම රජමාළිගය කරා නික්මීම.
කන්ථක අසු මේ සියල්ල දෙස බලා සිටියා.බෝසතාණන් වහන්සේ ඡන්න ඇමැති සමඟ කළ කතාව අසා මාගේ හිමියාගේ දැකීමක් මට තව නැතැයි සිතා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්නේහයෙන් ලෙවකන්නට වුනා . ඔවුන් එකට ඉපදී එකට උස් මහත් වුණේ සහෝදරයන් වගේ. මෙවැනි සමුගැනීමක් කෙලෙස ඉවසන්නද? බෝසතාණන් වහන්සේ තම දර්ශනයෙන් ඉවත් වෙත්ම හටගත් ශෝකය ඉවසාගත නොහැකිව ළය පැලී එතැනම කළුරිය කොට තව්තිසා දෙව්ලොව කන්ථක නමින් දේව රාජයෙක්ව උපන්නා. ඡන්න ඇමැති හට පළමුව පැවතියේ බෝසතාණන් වහන්සේගේ වෙන්වීමේ දුක පමණයි. නමුත් කන්ථක අසුගේ මරණයෙන් දෙවෙනි ශෝකයක් ද හට ගැනුණා. ඔහු හඬමින් වැලපෙමින් කිඹුල්වත් පුරයට යන්නට පිටත් වුණේ තනිවමයි. මෙලෙස එකමග පැමිණි මෙම තුන් පිරිස අවසානයේ තුන් පෙදෙසකට වෙන්ව ගියා.
උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා