අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 173

 

යසෝදරා දුටු සිහිනය සහ ඇයගෙන් සමුගැනීම.

මිට පෙර ලිපියේ ලියූ පරිදි පිරජතුමාගෙන් අවසර ගන්න ගිය දිනයේ සිට අභිනිෂ්ක්‍රමණය සඳහා දින සතක් ඉතිරිව තිබුණා. ඒ නිසාම පියරජතුමා විසින් නව ආරක්ෂක සැලැස්මක් නුවර පුරා යොදවනු ලැබුවා. මේ ඒ සම්බන්ධවයි.

අනාවැකි කරුවන් පැවසූ පරිදී ගිහිගෙයින් නික්මීම යෙදී තිබුණේ වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදීයි. ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තීරණය කරනු ලැබුවේ බුද්ධත්වයට වඩා ඔවුන්ගේ සිතෙහි සක්විති රජකම කෙරෙහි තිබුණ දැඩි කැමැත්තට. ඒ නිසා එයට කළ යුතු දෑ නිශ්චය කරගත්තා.

 වනගතවිම වැළක්වීම සඳහා පියරජතුමා විසින් සකස් කල නව ආරක්ෂක සැලැස්ම.

ඒ අනුව එදා සිට නුවර දකුණු වාසල් දොර ද්‍රෝණෝදන රජු සමඟ පන්සියයක් ශාක්‍ය තරුණයෝ ද, බස්නාහිර පැත්තේ වාසල් දොර ශුක්ලෝදන රජු සමඟ එපමණම ශාක්‍ය තරුණ පිරිසක් ද, උතුරු වාසල් දොර අමිතෝදන රජ සහිත තරුණ ශාක්‍ය පිරිසක් ද, නැගෙනහිර වාසල් දොර පන්සියයක් පමණ ශාක්‍ය තරුණයන් සමඟ ශුද්ධෝදන මහරජ ද, රැකවල් කරන්නට නියම කර ගත්තා. ඔවුන්ගේ නියමය පරිදි නුවර සෑම දෙමංහංදි තුන්මං හංදි හතරමං හංදි ආදී සංධිස්ථාන වල මහලු ශාක්‍ය රජවරු රැකවල් කරන්නට භාර ගත්තා. නුවර මැද සංචාරය කරමින් ආරක්ෂා කරගැනීමට මහානාම කුමාරයාට පැවරුණ. මෙසේ ඔවුන් සදිනක්ම රෑ නිදිවරා නගරය ඇතුළත පිටත හැමතැනම මුර කළා. ඔවුන් ගත් ක්‍රියාමාර්ගය දැනගත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ද සුදුසු දිනය හා වේලාව පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටියා. ප්‍රජාපතී ගෝතමී ද නුවර හැම ප්‍රසාදයකම හැම හැම ගෙයකම ඉන්නා ස්ත්‍රීන්ට එළිවනතුරු පහන් නොනිවා සෝදිසියෙන් ඉන්නට විධාන කළා.

යසෝදරාව දුටු සිහිනය

බෝසතාණන් වහන්සේ ද මේ කාලය තුළ ලොව දුක්ක තත්ත්වය නුවණින් සලකා බැලීම් තමන් ජාතිස්මරණ ඥානය ඇත්තකු බැවින් අතීත ජාතීන්හි කළ චිත්තප්‍රණිධීන් මෙනෙහි කිරීම් ආදී කටයුතු කරමින් තවුසකු සේ කල් යැවූවා. සිද්ධාර්ථ කුමරුන් හා සුදොවුන් රජු අතර ඇති වූ කතාව රජමළිගාවට තවදුරටත් රහසක් නොවුනා. යශෝධරා ආදී කවුරුත් එය දැනගත්තා. කවරදාක හෝ සිද්ධාර්ථ කුමාරයාණන් කැටුව තමාද ගිහිගෙයින් වෙන්ව දිවිය තවුස් දිවියට යෑමට සිතාගෙන සිටි යශෝදරාවෝ ඒ කිසිවක් අසා කලබලයට පත්වුණේ නැහැ. එහෙත් ඇයගේ සිත නොසන්සුන් වන්නට කරුණක් ඇති වුනා. ඊට හේතුවුනේ එකී සත්වැනි දින කලින්ම නිදා ගත් ඇය විසින් දුටු සිහිනයක්. එදා සැන්දෑවේ ඇය නිදාගද්දී සිහිනයක් දැක නැගිට සිද්ධාර්ථ කුමාරයාණන් වෙත ගියා. තමා දුටු සිහිනය ඔහුට කියා සිටියා. “ස්වාමීනි ඔබ මෙහි මා තනිකොට හැරදමා තපසට ගියා සිහිනෙන් දුටිමි. ස්වාමීනි ඔබ යන තැනට මම ද එන්නෙමි” කිවේ සංසාරේ හැමදාම හැම මොහොතකම ඔහු පසුපස හඹා පැමිණි බෝසත් බිරිඳක් ලෙස.

සංසාරය පුරා පසුපස පැමිණි ආදරණිය බිරිඳගෙන් සමුගැනීම.

මේ සියල්ල ඉවසීමෙන් අසා සිටි බෝසතාණන් වහන්සේ ද තමන් යනුයේ නිවන දෙසටය යන්න සලකා, එසේය මා යන තැනටම නුබත් පමුණුවමි කියනු ලැබුවා. එහි සැඟවුණු අරුතක් ඇති බව ඔබටද හැංගෙන්න ඕනේ. ඉක්බිති නිවන් අවබෝධ කරනු පිණිස මහත් දුක් පීඩා වින්ද යුතු බව බොහෝ වෙහෙස මහන්සි විය යුතු බව දරුවකු සහිත යශෝදරාවන් බඳු සියුමැලි ස්ත්‍රියකට එවැනි දුක් පීඩාවලට මුහුණ පෑ හැකි නොවන බවද පැහැදිලි කොට දී මම විමුක්ති සැපය අත්පත් කොට ගෙන ඇවිත් ඔබ හැම ට එය ලබා දෙන්නෙමි. යනුවෙන් ආදරයෙන් කියා සිටියා. එතෙක් ඉවසා දරුවා රැක ගන්න. මේ සියලු ධන සම්පත් ඔබට ඇත. මා පියාණෝ ද කුඩා මෑණියෝ ද ඔබේ ආරක්ෂාවට සිටිති යනුවෙන් සැනසිලි බස් කීවා. දුරදිග දක්නා නුවණ ඇති, ස්වාමි භක්තියේ ප්‍රතිමුර්තිය වූ, විනීත වූ යශෝදරාවෝ සසරේ හැමදාම වගේ කුමාරයාණන්ගේ අවවාදයට අවනත වුනා . ප්‍රිය විප්‍රයෝග දුක ඉවසා දරා ගන්නට නොයෙක් දේ සිතමින් උත්සාහ කරන්නට වුනා .

උපකාරක ග්‍රන්ථ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.