අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 166

 

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව.

එක් දිනක් සුද්ධෝදන මහරජු හා සෙසු රජුහු හා මැතිවරුන් කිඹුල්වත් පුර සංස්ථාගාර ශාලාවෙහි රැස්ව රාජ්‍යය කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් සිටියා. එහිදී මහලු ශාක්‍ය රජවරු සුද්ධෝදන මහරජුට දේවයිනි අනාවැකි කරුවන් කී පරිදි සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙහි විසුවොත් චක්‍රවර්ති රජ කෙනෙක් වනවා මෙන්ම පැවිදි වුවහොත් බුදු බව ලබනවා. ඔබත් අපත් පතනුයේ ඔවුන් චක්‍රවර්ති රජ කෙනෙකුන් වීම මිස බුදු කෙනෙකුන් වීම නොවේ. මෙසේ වූ කළ පෙරද චක්‍රවර්ති රජුන් සිටි අපේ වංශය නොසිඳී දිගටම පවතීවි. එවිට අපි සැම සෙසු රටවල රජුන් විසින් මානිත පූජිත වන්නෙමු. එබැවින් කුමාරයන්ට ස්ත්‍රී ගණයා සහිත කුමරියක පාවා දිය යුතු කාලය පැමිණ ඇතැයි කියනු ලැබුවා. එවිට ශුද්ධෝදන රජු, ” එසේය එසේනම් කුමාරයන්ට සුදුසු කුමරියක සොයා බලන්න යයි’ යනුවෙන් ඔවුනටම ඒ කාර්යය පවරනු ලැබුවා. එවිට එහි සිටි එක් රජෙක් “මගේ දුව සුදුසු යැයි” කියනු ලැබුවා. සෙසු රජවරු ද අපේ දූවරු සුදුසු යැයි කියන්නට වුනා . එවිට සුද්ධෝදන රජු සිද්ධාර්ථ කුමාරයා ලෙහෙසියෙන් අනුන්ගෙ බසට නොනැමෙන කෙනෙක් එහෙයින් පළමුකොට ඔවුන් කැමති කුමරිය කවරේදැයි ගොස් ඔහුගෙන්ම අසමු යැයි කියන්නට වුනා .

ඉන්පස්සේ සුද්ධෝදන මහරජු ප්‍රධානකොට ඇති ඒ හැමදෙනාම සිද්ධාර්ථ කුමාරයන් වෙත එළඹුණා. එළැඹි කාරණය සැළ කර සිටියා. මම මෙයින් සත්වැනි දිනෙහි උත්තරයක් දෙන්නේමෙයි කුමාරයා ඔවුනට පවසනු ලැබුවා ඉක්බිති එතුමෝ විවේකීව හිඳ මෙසේ සිතූවා. කම් සැපෙහි දොස් අනන්තය. කලහ වෛරය ශෝක නානාවිධ දුක් කරදර ඇතිවීමට කම්සැපත මුල්වේ. කම්සැප බියකරුය. කෑ කෙණෙහි දිවි නසන විෂ පලපත්‍ර බඳුය. ගිනි ජාලාවක් බඳුය .කඩු මුහුණතක් බඳුය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නොවේ.ගණයකට වී ධාන්‍ය සමාධි සැපයෙන් වසන්නට ඇතොත් මැනවි.මෙසේ සිතා මාගේ අදහස පියාණන්ට දන්වා කිසිසේත් වන වාසයට යන්නට නම් අවසර ගත නොහැකියි. ඒ නිසා ඔවුනට කළ නොහැකි දෙයක් ලියා දන්වමි සිතා බෝසතාණන් විසින් පතන මෙම ගුණාංග 32 කින් යුතු ස්ත්‍රියක් පිළිබඳව මෙලෙස ලිපියක් සැකසූවා.

මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇති කෙනෙකු විය යුතුයි.

එනම් ඇය:

  1. රූප මදයෙන් මත් නොවිය යුතුයි.
  2. මවක සේ සොයුරියක මෙන් මෙත් සිතැතියක් සේ විය යුතුයි.
  3. මහණ බමුණන්ට දන් දීමෙහි ඇලුණු කෙනෙක් විය යුතුයි.
  4. මානය නැති
  5. කිපෙන ගතිය නැති
  6. ශඨ බව
  7. ඊර්ෂ්‍යාව නැති
  8. වංක බව යන දුර්ගුණ නැති
  9. ස්වාමි භක්තිය ඇති
  10. උඩගු නොවූ
  11. හැඩිදැඩි නොවූ
  12. රසයෙහි ගිජු නොවූ
  13. ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාථා ගාලගෝට්ටි කෙරෙහි ඇලුම් නැති
  14. සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති
  15. ලොහොබි නොවූ
  16. අන්සතු දේ දැක ආශා නොකරන
  17. සත්‍යවාදී වූ
  18. සැපතෙහි ආඩම්බර නොවන
  19. විපතේදී නොතැවෙන්න
  20. ඒ හැම තැනදී මධ්‍යස්ථව සිටින
  21. ලැජ්ජා භය ඇති
  22. දෘෂ්ට මංගල සුත මංගල (ප්‍රිය දෑ දැකුම් ආදියෙන් සුබ පල ලැබෙතැයි යන මතයෙන් නොඇලුණු)
  23. ගුණ දහමින් යුත්
  24. හැමකල්හි හිත කය වචනය යන තුන්දොර ම පිරිසිදු ලෙස රැක ගන්නා
  25. අලස බවින් කුසීත බවින් දුරු
  26. කුල මානවංශ මානයෙන් මන්මත් නොවූ
  27. විමසා කටයුතු කරන
  28. ධර්මචාරී වූ
  29. නැදි මයිලන් කෙරෙහි ගුරුනටසේ ආදර ගෞරව ඇති
  30. යටහත්
  31. මවක සේ කාරුණික
  32. කුහක නොවූ එකියක විය යුතුයි

මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි.

මේ කරුණු ලියා සුද්ධෝදන මහ රජුට ලැබෙන්නට සැලැස්සුවා. ශුද්ධෝදන රජතුමා ඇස් බැමි උස්සමින් නළල රැලි ගන්වමින් ඒ දෙස බලා ඉන්නට ඇති.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්ථගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.