අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 161
රාජභෝජන සැකසෙන අයුරු.
ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මවගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද, ප්‍රජාපතී දේවිය එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුණා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.
සිප්සතර ඉගැන්වීම
සිය දරුවන්ට සිප්සතර ඉගැන්වීමට කාලයයි සැලකූ සුද්ධෝදන රජතුමා සුදුසු ඇදුරන් සොයන්නට වුනා . එදා පැවති සැම සිප්සතරෙහිම ප්‍රවීණ “සර්වමිත්‍ර” නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහුව මාලිගාවට කැඳවනු ලැබුවේ සිදුහත් කුමරාගේ ආරක්ෂාවත් සසර කලකිරිමෙහි අනාවැකිත් පියාණන්ගේ හිත තුල අනිසි බියක් ඇති කරන නිසා වෙන්නට ඇති. ඔහුව “විශ්වාමිත්‍ර” යනුවෙන් ද හඳුන්වන බව කියනවා. ඔහුගේ සියලු සුදුසුකම් සළකා බැලීමෙන් පසු ඔහුව මාළිගයේහිම රඳවාගෙන සිදුහත් කුමරු ඇතුළු රජ පවුලේ දරුවන්ට ඉගැන්වීම සිදු කරනු ලැබුවා. ඔවුන්තුරෙන් සිදුහත්කුමරා බොහෝකල් නොයවාම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර ඉගෙන ගත්තා.
ළමා විය
සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරුන්ද, ඇමති පුත් කාළුදායි වත්ස ආදීහු ද, රියදුරු ඡන්න ආදීහු ද බෝසත් සිදුහත් කුමරාණන්ගේ මිතුරු කැල අතරින් ප්‍රධාන වුනා . දෙව්දත් කුමරු සිදුහත් කුමරාණන්ගේ කෙලිමඩලට ආවත් ඔවුන් හා සමග බොහෝ කුළුපග වුණේ නෑ.
එකල රජ කුමරුන් හට බත සැකසුණු අයුරු!
ඒ කාලේ රාජ රාජ කුමාරවරුණට ආහාරපාන සැකසුවේ හරිම පුදුමාකාර විදිහට. මේ කියන්නට යන්නේ අප බෝධිසත්වයන් වහන්සේ ලොව පහල වී සිටි කල්හි පසුකලෙක සාසනයේ අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු වූ සොණ කොළිවිස සිටු කුමරු හට කිරිබත් සැකසු අයුරුයි. මෙය කියවන ඔබට සිදුහත් කුමරුට බත සරිකල අයුරු සිතා ගත හැකිවේවි.
ඔහුට මෙබදු වූ ආහාරවිධානයක් වුනා . කිරිය සැටක් (මිනුම් දණ්ඩක්) පමණවූ තැනක් වපුරා ත්‍රිවිධ වූ ජලයකින් පෝෂණය කරනු ලබනවා. එනම් කෙතට පිවිසෙන්නාහු ජල මාර්ගයන්හි කිරිදියද, සුවදද, සුවද දියද, සැලි දහස් ගණන් එක් කරනු ලබනවා. ඇල්වී කිරිවදින කල්හි ගිරා ආදී ප්‍රාණීන්ගේ ඉදුල් කිරීම් වැලැක්වීම සදහාත්, වී ගැබේ සියුමැලි බව සදහාත්, කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා ඒ මත්තෙහි දඩු තබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල්ලනවා. ශශ්‍ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවදින් පිරිබඩ ගන්වා ඒ මත්තෙහි උතුම් සුවඳ මුසු කරනු ලබනවා. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිද මිටි මිටි කොට රැහැනින් බැද වියලවනවා. ඉන්පසු ගබඩාවෙහි යටම මහලෙහි සුවද අතුරුවා ඒ මත්තෙහි ඇල්වී කරල් අතුරුවනු ලබනවා. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසා තබනවා. නැවත ගබඩාව අරිනු ලබන්නේ තෙවසක් පැමිණුනායින් පසුවයි. මෙලෙස ගබඩාව විවරකල කල්හි සියලු නුවරම එහි සුවදින් සුවදවත් වෙනවා. ඇල් කෙටූවිට ධූර්තයෝ දහයියා විකුණා ගන්නවා. සහල් ඇගිටි (සුණු සහල්) සුළුසේවකයෝ ලබා ගන්නවා. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගන්නවා. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගනු ලබනවා. ඉන්පසු එය කකාරවන ලද පිඩු රසෙහි එක්වරක් බහා උඩට ගනු ලබනවා. ගෑවුණු ගෑවුණු තැන රස වෑහෙන මෙම භෝජනය සමන් මල් බඳුනක මෙන් සුවඳ හමයි. ඒ දිව්‍යමය භෝජනය රන් තලියක බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියක් මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ඉදිරියෙහි තබනවා. හෙතෙම තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් වළදා සුවද කැවූ දියෙන් මුව සෝදා අතපය සෝදනු ලබනවා. ඉන්පසු සෝදනලද අත්පා ඇති ඔහුට නොයෙක් ආකාර මුව සුවද ගල්වන දෑ පිළිගන්වනු ලබන්නේ ඉඳුල් සුවඳ යන්තමින්වත් මුව මතෙහි නොරැඳීමට. මේ සිටු පුතෙකුගේ එක් ආහාර වේලක්. රජකුමරෙකුගේ ආහාර වේලක් ගැන ඔබට දැන් සිතා ගත හැකියි. ඒ සිටු කුමාරටත් සිද්ධාර්ථ කුමාරට වගේම මාළිගා තුනක් තිබුණා. ඔහුට ඒ සැප සම්පත් ලැබීමට හේතුවාසනා වූ කුසලයට පාදක වූ සම්පුර්ණ කතාව මම ජීවතුන් අතර සිටියොත් ඉදිරියේදී අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවෙනවිට ඔබට කියවන්නට ලැබේවි.