අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 160
වප්මගුල් උත්සවය සහ සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.
රන් සහ රිදී නගුලෙන් කරනු ලැබූ රාජකීය වප්මගුළ
මෙසේ ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවුනා . එක් දිනක් රටේ මෙන්ම රජුගේත් වප් මඟුල උත්සවය එළැබ තිබුණා. එදිනට සියලු නුවරම දෙව් විමනක් මෙන් සරසනු ලබනවා. එදාට සියලු දැසිදස් කම්කරු ආදීහු ද නව වස්ත්‍ර හැද සුවද මල් ආදියෙන් සැරසී රාජ භවනට රැස් වෙනවා. රජතුමාගේ වප් මංගල උත්සවය සඳහා නගුල් දහසක් යොදනු ලබනවා. එදවස වනාහි එකක් අඩු අටසියයක් නගුල් වුනා. ඒවා ගොනුන් රැහැන් යොත් සමගම රිදියෙන් ආලේප කොට තිබුණා. ඒ වුනත් රජුන් සී සානා නගුල රන් ආලේපිත කරලයි තිබුණේ. ගොනුන්ගේ අං සහ යොත් ද කෙවිට ආදිය ද රනින් විසිතුරු වුනා .
බෝසත් බිලිඳා වප්මගුල් උත්සවය සඳහා රැගෙන යාම.
බෝසත් කුමරාව වප්මගුල් උත්සවයට ගෙනයාම සඳහා කිරිමවුවරුන් විසින් සුවඳ පැනින් නහවනු ලැබුවා. ඒ සඳහා රනින් කල භාජනද, ඉස්තරම් වර්ගයේ විලවුන් වර්ගද, අනෙකුත් ආලේපනද තියෙන්නට ඇති.
රජතුමා මහත් පිරිවරින් වප් උත්සවය සඳහා නික්මුණේ පුත් කුමරු ද රැගෙන. වප් මඟුල ආසන්නයේ ඝනව වැඩුණු කොළ ඇති එනිසා ම සිසිල් සෙවන ඇති දඹගසක් තිබ්බා. එම ගස මුල අසුනක් පනවා රන්වන් කැටයම් කළ උඩු වියනක් බැද වටකුරු තිර ඇද රැකවරණ සලසා එහි බෝසත් කුමරාව සතපා රජතුමා සර්වාභරණයෙන් සැරසී ඇමතියන් පිරිවරා වප් මගුල් ස්ථානයට ගියා.
සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.
එහි දී රජතුමා රන් නගුල ද ඇමතියෝ එකක් අඩු අටසියයක් රිදී නගුල්ද ගෙන කුඹුරට බැස්සා. ගොවියෝ සෙසු නගුල් ගනු ලැබුවා. ඔවුන් ඒවා ගෙන ඒ ඒ තමන්ට නියමිත ප්‍රදේශයන්හි සී සාන්නට පටන්ගත්තා. රජතුමාත් තමන්ට නියමිත රාජකීය භූමිභාගයේ අන් අය සමග හරි හරියට සී සාන්නට වුනා . මෙලෙස එක්කොනක සිට තව කොනකටත් එතැන් සිට අනෙක් කොනටත් පස පෙරළන අතරතුරේ සිදුවුණේ තවත් ආශ්චර්යයක්. කවුරුත් නොසිතූ ලෙස එම භුමිය තුලින් මහත් වූ සම්පත් මතු වන්නට පටන්ගත්තා. මෙම පුවත පැමිණි සිටි ජනයා අතරත් ඉක්මණින් පැතිර ගියා. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරුන්ට ද මෙම ආරංචිය පැමිණීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එතෙක් වෙලා බෝසත්කුමරා පිරිවරා සිටි කිරිමවුවරුත් රජුගේ සම්පත් බැලීමට බෝසත් කුමරා සතපා වටකොට තිබු වට තිරයෙන් පිටතට පැමිණියා.
බෝසත් කුමරුන්හට තම පියා දෙවැනි වරටත් වැඳීම.
ඒ මොහොතේ සිදුවුනේ තවත් ආශ්චර්යයක්. බෝසත් කුමරුවෝ වටපිට බලා කිසිවකු නොදැක වහා නැගිට පළක් බැද ආනාපාන සති කමටහන් වඩා පළමු ධ්‍යානය ලබාගත්තා. කිරි මව්වරු ආහාර පාන ගැනීම සඳහා මදක් කල්ගත කළා. ඒ අවස්ථාවෙහි සෙසු ගස්හි සෙවණැල්ල හිරු හැරුණ ද නොවෙනස්ව දඹ ගස වට කොට සිටියා. කිරි මව්වරු බෝසතුන් හුදෙකලා බව දැන අවුත් තිරය ඔසවා බලනා විට සයනයෙහි පළක් බැද වැඩහුන් බෝසතුන් වහන්සේ දැක මහත් වූ පුදුමයට පත්වුණා. ඉන්පසු ඉක්මණින් ඒ බව රජතුමාට සැලකොට සිටියා. දේවයිනි, කුමාරයෝ මෙසේ බද්ධපරියන්කයෙන් සිටිති. ඒ අවස්ථාවේ සෙසු ගස්වල සෙවණද හිරු අනුව නොවෙනස්ව තිබුණා. දඹ ගසේ සෙවණද මණ්ඩලාකාරව තිබුණා. රජතුමා වේගයෙන් අවුත් ඒ පෙළහර දැක “පුත, මේ මාගේ දෙවන වැදුම” යැයි පුතුට දොහොත් දී වඳිනු ලැබුවා.