අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 158

 

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම

මම මිට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ, වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ බිසෝවරු, සෙනෙවිවරු. ඉහතින් කී අයුරින් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී නමින් රජකෙනෙකු හිටියා. රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

ඔවුන් පිළිවෙලින්,

1.සමණී 2. සමණගුත්තා 3. භික්ඛුණී 4. භක්ඛදායිකා 5. ධම්මා 6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.


ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

1.ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

මේ සහෝදරියන් සියලුම දෙනා මේ වනවිට ඉපදී හෝ මවුකුසක් බලාපොරොත්තුවෙන් සිටියේ පිරූ පාරමිතා සඵල කරගැනීමට. ඔවුන් අතරින් සුධම්මා දියණිය තමයි මිට අනුඑක් කල්පයකට ප්‍රථම විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රර්ථනා කලේ. ඇය ඉන්පසු ආත්මභාවයක කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “එූසති” දේවියද, අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහාමායා දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ සම්බන්ධව විස්තරයක් මා විසින් “අපේ බුදුහාමුදුරුවෝ 107” කොටසේ සිට ලියා තිබෙනවා.

මෙලෙස අවුරුදු කල්ප ලක්ෂයක් අවම වශයෙන් පාරමී පුරමින් බුද්ධමාතාවගේ තනතුර ප්‍රාර්ථනා කරමින් පැමිණි මහාමායා දේවිය අවසානයේ අප මහා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ මාතාව වශයෙන් කිරුලු පැළඳියා.

බුද්ධමාතාව කියන්නේ සුළුපටු චරිතයක් නෙවෙයි. ඒ තනතුර ලැබීමට අවම වශයෙන් අවුරුදු කල්ප ලක්ෂයක්වත් පෙරුම් පිරිය යුතයි. පියා දරුවන් මෙන්ම භාර්යාවද එලෙසමයි. ඔබට මතක ඇති මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ 152” වෙනි කොටසේ තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයන් ගැන සඳහන් කළා. එහිදී බෝසත්මවකගේ ගුණ සහ මහේශාක්‍ය බව මෙලෙස සඳහන් කළා

  1. බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුවෙන්ද,
  2. යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” යනුවෙන්ද,
  3. යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹියද නොහැක .” යනුවෙන්ද,
  4. යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන්ද,
  5. යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. යනුවෙන්ද,
  6. බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී ” යනුවෙන්ද, තව බොහෝ කරුණුද කිවා.

මෙහිදී ඒ ආශ්චර්ය අද්භූත කරුණු අතරේ බෝසතාණන් වහන්සේ මෙලොව උපත ලබා සත් දිනකින් මව මේ කුණුකය අතහැර කළුරිය කොට තුසිත දෙවුලොව ඉපදෙන බව සඳහන්. එය සෑම බෝසත් මවකටම උරුමවුවක්. එයට විශේෂ වූ හේතුන් කිහිපයක් තිබ්බා. එකක් තමයි බුදුවරයෙකු මෙලොවට බිහිකළ මව්කුස තුල තව දරු උපතකට අවස්ථාවක් නැතිකම. එමෙන්ම බෝසත්වරයෙකු කුස පිළිසිඳ ගත් පසු එම ස්ත්‍රී රත්නය සමග යහන්ගත වීමට තවත් සැමියා හෝ වෙනත් පුද්ගලයෙකුට නොහැකිවීම. ඇයගේ ආයුෂ උපතේ සිට දින හතෙන් අවසන් වීම, සහ එවන් අතිශය ශ්‍රේෂ්ඨ චරිතයක් තව දුරටත් ගැහැණියක් වශයෙන් නොසිටීම. පුරුෂයෙක් ලෙස ඉපදීමට වරම් තිබුණත් තම අභිලාෂය ලෝකෝත්තර හෙයින් ඇය බෝසත් උපත තෙක් බෝධිසත්ත්ව මාතෲත්වය පමණක් මනසින් සම්මර්ශනය කලනිසා ඇය පාරමී පුරන සමයේ පවා බෝසතුන්ට මව වී උපත ලබා ඇති ආකාරය දැකිය හැකියි.

කාන්තාවක් යනු ස්වභාවයෙන්ම පුරුෂයෙකුට වඩා බොහෝ සෙයින් ජීවිතයේ අපහසුතා වලට ලක් වන පිරිසකි. රාග නිශ්‍රිත ලෝකයේ කාන්තාවකට සිදුවන ගැහැට එමටයි. එහෙත් ඒ සා විශාල ගැහැට ඇති ස්ත්‍රී භාවය හිසෙහි තබා ගත් නෙලුමක් සේ ගෞරවයෙන් ගෙන ස්ත්‍රීයක විසින් විදිය යුතු සියලු ගැහැට සැනසුම් සහිත පහසක් හැටියට ගෙන ඝෝර සසරට වැදී පාරමී පූරණය කොට තිලොවට යහපත සදන බෝසතුන් කුසෙන් දැරීමට මහාමායාව ගත් වෑයම පූජනීයයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය බෝසත් උපතින් සත් වන දින කලුරිය කිරීමට සිදුවන බව දැන දැනම එයද ආශිර්වාදයක් සේ සලකා බෝසත් මවක් වීමේ අභිලාෂය ඇතිව පාරමී පිරූ බව සිහි කටයුතුව ඇත. 

මේ සියලු හේතු ප්‍රත්‍යවීම නිසා ඇය බෝසත් උපතෙන් පසු නම් තැබීමේ මංගල්‍යයට ද සහභාගී වී සත්වන දිනයේ සුවපහසුව සැතපුන පසුව නැවත අවදිවුයේ නැහැ. ඇය ඒ මොහොතේම සොළොස් අවුරුදු දෙව් කුමරෙකු ලෙස (පුතෙකු ලෙස) තුසිත දෙව්ලොව උපන්නා. ඒ වෙනකිසිවක් නිසා නොව එතරම්ම පාරමී දම් වඩා තවදුරටත් ස්ත්‍රී ආත්මභාවයකට සුදුසු නොවී සිටි නිසයි. එහෙත් මානව වර්ගයාට ඇති අප්‍රමිත මෛත්‍රියෙන් ඇය බෝසත් උපත දක්වා ඒ පුරුෂ භාවය නැමති කිරුළ පැළඳුවේ නැහැ.

ඇයගේ ඇවෑමෙන් සුදොවුන් රජතුමා බෝසතාණන් වහන්සේගේ සුළුමව වූ මහාප්‍රජාපතී ගෝතමිය අගමෙහෙසිය බවට පත්කරනු ලැබුවා. ඒ දිනවලම නන්ද කුමරුත් ඉපදී සිටියා. ඇය ඔහුව කිරිමවුවරුනට දී අප මහා බෝසතාණන් වහන්සේට මෑණියන් වී මවුතුමිය නොමැති අඩුව පුරවනු ලැබුවා. 

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.