අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 154
අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙළොවින් සමුගත්
මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 01
සැළකිය යුතුයි.
මාතංග බුදුහාමුදුරුවෝ ගැන ත්‍රිපිටකයේ දීර්ඝ විස්තරයක් නැහැ. ඉතා සුළු විස්තරයක් අපදාන අට්ඨ කතාවෙන් හමුවුනා. (ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222) ඒ එක්කම මාතංග පසේබුදුන් පිළිබඳව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය” නම් ග්‍රන්ථයේද දහතුන් වෙන පිටුවෙහි ඒ හා සමානම කෙටි විස්තරයක් සඳහන් වනවා. එහෙත් එම අඩුපාඩුව මගහරිමින් ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවෙහි ඇති අතීත පසේ බුදුවරුන් ගැන අපේ බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට වැදෑරූ විස්තරද උපකාරක සුත්‍ර හැටියට භාවිතා කරමින් ඔබගේ සෘතමය ඥානය සඳහාත්, ශ්‍රද්ධාව සඳහාත්, ධර්ම රසය සඳහාත්, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ විර්යය ඇතුළු සුවිශේෂ කරුණු මෙම ලිපි පෙළට මෙලෙස ඇතුළත් කිරීම කාලෝචිත යැයි සිතුවා. (ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව ඇසුරෙන්)
ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට පසේබුදුවරු පිළිබඳව විමසීම.
එක් කාලයක බුදුහාමුදුරුවෝ සැවැත්නුවර වැඩ වාසයකලා. එදා ගෞරවණිය ආනන්ද හාමුදුරුවෝ හුදකලාව විවේකයෙන් සිටිමින් මෙසේ සිතුවා. බුදුහාමුදුරුවන්ගේ බෝසත් කාලයේ විස්තරද, අගසව්වුවන් ගැන විස්තරද, වර්තමාන කටයුතු අනාගතය ගැන වැනි මෙවැනි බොහෝ දේ විස්තර අසා තිබුණත් තවම පසේබුදුවරු ගැන යමක් අසා නැහැ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේගෙන් පසේබුදුවරු ගැන විස්තර අහන්න ඕනේ කියලා. එහෙම හිතපු අනද තෙරුණුවෝ විවේකයෙන් බැහැරව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පසේබුදුහාමුදුරුවන් ගැන විමසුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමිට “පුබ්බ යෝගාවචර සුත්‍රය” දේශණා කළ බව “ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාවේ” කියනවා. එය පසේ බුදුවරුන් ගැන දීර්ඝ අති රමණීය දේශණයක්. එය පටන් ගන්නේ මෙලෙසයි.
සමත විදර්ශනා භාවනාවෙහි යෙදීසිටින ඔබට ලැබිය හැකි සුවිශේෂ අනුසස් පහක්
“ආනන්ද, පූර්ව යෝගවචරයාට (පෙර බවුන් වැඩූ තැනැත්තාට) අනුසස් පහක් ඇත.
- මේ භවයේ කලින්ම රහත් වන්නේය.
- එසේ රහත්නොවී නම් මරණාසන්නයේ හෝ රහත්වන්නේය.
- එසේ නොවී නම් දේව පුත්‍රයෙකුව හෝ රහත්වන්නේය.
- එසේත් නොවී නම් බුදුවරයන් හමුවේ වහා නිවන් අවබෝධ කරගන්නෙක් වන්නේය.
- එසේත් නොවී නම් පසු කාලයේ පසේ බුදු වන්නේය.”
තවදුරටත් උන්වහන්සේ මෙලෙස දේශනා කරනවා. ආනන්ද පසේබුදුවරුන් නම්, දහම් අවබෝධය ලබන හේතුසම්පත් ඇති, මුලසිටම ඒ සඳහා භාවනායෝගීව කටයුතු කරන අයයි.
සම්මා සම්බුදුවරයෙකු සහ පසේබුදු වරයෙකු විසින් පාරමී පිරිය යුතු කාලය.
එවිට අනද තෙරණුවෝ තවත් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්ස, බුදුවරුන්ගේ පැතුම් සඵල වන්න කොපමණ කාලයක් යනවාද?
එවිට බුදුන්වහන්සේ මෙහෙම උත්තර දුන්නා. ආනන්ද සම්මා සම්බුදුවරයෙකුට අවම වශයෙන් අසංඛ්‍ය සතරකුත් කල්ප සියදහසක්ද, අතරමැද අසංඛ්‍ය අටකුත් කල්ප සියදහසක්ද, උපරිම අසංඛ්‍ය දහසයකුත් කල්ප සියදහසක්ද වනබවයි. අවමය වන අසංඛ්‍ය සතරකුත් කල්ප සියදහස නොපිරුණහොත් දිනපතා වෙසතුරු දානය හා සමාන දාන පිරිනැමුවද ඊට අනුරූපව සීලාදී පිරිය යුතු පාරමී දහම් රැස් කලද, ඒ අතර කාලයේ බුදුබවට පත්වන්නේ නැති බවයි. කවර හෙයින්ද ? මැනැවින් නුවණ තහවුරු වූ නැති බැවින්.
අනද තෙරණුවෝ ඉන් පස්සේ මෙලෙස අසනවා. බුදුරජාණන් වහන්ස, එසේනම් පසේ බුදුකෙනෙකු වීමට කොපමණ කලක් පාරමීදම් පිරිය යුතුද?
අසංඛේයය දෙකකුත් කප් සියදහසක්. මේ කාලයට අඩුවෙන් පසේ බුද්ධත්වයට පත්විය නොහැකි බව දේශනා කොට වදාරණු ලැබුවා.
සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු හා පසේ බුදුවරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම සහ පංච ධර්ම.
අෂ්ට ධර්ම පිළිබඳව පැහැදිළි විස්තරයක් “අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළේ 13 වෙනි කොටසේ කරනු ලැබුවා. කරුණාකර එය කියවන්න.
සම්මා සම්බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු අෂ්ට ධර්ම.
“මනුස්සත්තං ලිංගසම්පත්තිං – හෙතුසත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණසම්පත්ති – අධිකාරො ච ඡන්දතා
අට්ඨධම්ම සමෝධානා – අභිනීහාරෝසමිඣතී”
උන්වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කරනවා.
සම්මා සම්බුද්ධත්වය පතන්නා වූ බෝසත්වරුන් ප්‍රථම නියත විවරණය නොහොත් අභිනීහාරය සඳහා පහත සඳහන් අෂ්ට ධර්මයන්ගෙන් යුක්ත විය යුතුය.
- එනම් මිනිසත් බව,
- ලිංග සම්පත්තිය,
- හේතු සම්පන්න වීම,
- බුදුකෙනෙකු හමුවීම,
- පැවිදිවීම,
- අධිමානසික ගුණයෙන් යුක්ත වීම.
- ජිවිත පරිහරණය,
- කැමැත්ත හා සම්බන්ධ විර්යය
යන මේ අටකින් යුක්ත වුවන්ගේ ප්‍රාර්ථනය සඵලවේ.
පසේ බුද්ධත්වය පතන්නාවූ බෝසත්වරයෙකු විසින් අභිනීහාරය සඳහා සම්පුර්ණ කළයුතු පංච ධර්ම.
සම්මා සම්බුදුවරයෙකු හට අභිනීහාරය සඳහා අෂ්ට ධර්ම සම්පුර්ණ කල යුතු වුණත් පසෙබුදුවරයෙකුට ඇත්තේ පහත සඳහන් පහ පමණි.
මනුස්සත්තං ලිංගසම්පත්තිං විගතාසවදස්සනං
අධිකාරො ඡන්දතා එතෙ අභිනීහාරකාරණා
ඒ සමගම සියලු බෝසත්වරුනට පොදු ලක්ෂණ හයක් තිබෙන බවද මෙම සුත්‍ර දේශනාවේ සඳහන්වනවා.
සියලු බෝසත්වරුන් සතු පොදු ලක්ෂණ සය
- ගිහිගෙයින් නික්ම අනගාරික ජීවිතයට පත්වීම.
- විවේකීව සිටීම
- ආසාවන්ගෙන් තොරවීම
- තරහ නැති බව
- සිහි මුළා නොවීම
- සසරින් මිදීමට ඇති වීර්යය
යන කරුණු හය බුදුබව ලැබීමට උපකාරී පිණිස පවතින බවත් කීවා.