අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 149

බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 02

පුරුෂයකුට රාග සිතෙන් එළඹිය නොහැකි බෝසත් මවුවරු සහ සතර ගර්භවක්‍රාන්තිය..

මෙලෙස අපගේ මහා මායාවක් බදු වූ මහාමායා දේවිය පෙර රෑ දුටු සිහිනයත් සමග මහා බෝසතාණන්ගේ පිලිසිද ගැනීම් සිදු වුනා. ඒ පිලිසිද ගැනීමේ පටන් මහබොහොසත් උපත දක්වා දිවෙන කාලය අපූරු අසිරිමිත් කරනු වලින් පිරිගත් එකක්. එනිසාම ඒ මා කියවූ කරුණු මෙලෙස තව දුරටත් ඔබහට ගෙන එනවා.

බෝසත්කුමරු පිළිසිඳගත් මොහොතේ පටන් මහමායා දේවිය ලැබූ ලාබ සත්කාර.

මෙවන් උත්තම පුත්‍ර රත්නයකගේ පිළිසිඳ ගැනීම අවට පැවති සියලුම රට රාජ්‍යය දක්වා පැතිර ගියා. හාත්පසින් රජවරු මාහැගි ආභරණ තුර්යදී වශයෙන් පංචද්වාරයට අරමුණු පඩුරු වශයෙන් එවන්නට වුනා. බෝසතානන්වහන්සේටද බෝසත් මවටද කරන ලද කර්ම උත්සන්න හෙයින් ලාභසත්කාරයෙහි මෙපමණ යැයි ප්‍රමාණයක් නම් වුනේ නැහැ. ඇය එතැන් පටන් ලාබයෙන් හා යසසින් අග තැන්පත් වන්නට වුනා.

ගැබ තුල සිටින බිලිඳා දැකිය හැකි බෝසත් මව

යම්සේ ස්ත්‍රීහු ගැබෙහි බරින් ක්ලාන්ත වෙයි ද, අත්පා ඉදිමීමට පැමිණෙත් ද, ඇයට මෙබදු කිසිම ක්ලාන්තයක් හෝ වෙනත් රෝග පිඩාවක් හටගත්තේ නැහැ.

ඒ විතරක් නෙවෙයි බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් කළල අවස්ථාවේ පටන් හටගත් අංග ප්‍රත්‍යංග අඩුනොවූ පංච ඉන්ද්‍රිය බවට පැමිණෙන අයුරු දකියි. කුමක් පිණිස දකීද සැපසේ වාසය කිරීම පිණිසය. යම්සේ මව පුතා සමග හුන්නේ හෝ හොත්තේ හෝ අත් පා එළබෙන්නාහු ඔවා තබන්නේමියි සැපසේ විසීම පිණිස පුතා දෙස බලයි. මෙසේ බෝසත් මවද යම් ඒ මවගේ නැගිටීම යාම පෙරළීම හිදීම ආදියෙන් ද උණුසුම ශීතල ලුණු රස තිත්ත රස කටුක ආහාර අනුභව කරන කල්හි ද ගැබට දුක් උපදියි. මගේ පුතාට එය සුවය පිණිස ඇත්දැයි බලන්නී පර්යන්කයක් බැද හුන් බෝසතුන් දකියි. යම්සේ අනෙත් අය ඇතුල් කුසට පැමිණියාහු පක්වාසය අමාශය ඔසවා උදර පටලයෙහි පෘෂ්ටය කොට පිටකටුව නිසා උක්කුටිකව දෙමිටෙහි හනුව තබා වැසි වසිනා කල ගස් සිදුරෙහි වදුරෙක් මෙන් සිටී. එහෙත් බෝධිසත්වයන්වහන්සේලා එසේ නොවේ. බෝධිසත්වයන්වහන්සේ වනාහි පිටකටුව පිටට කොට ධර්මාසනයෙහි ධර්මකථිකයෙක් මෙන් පළගක් බැද පෙරදිගට අභිමුඛව සිටියි. පෙර කරන ලද කර්මය ඔහුගේ වස්තුව පිරිසිදු කරයි. වස්තුව පිරිසිදු වූ කල සියුම් සිව් ලකුණ උපදියි. එකල කුසට පැමිණියේ එය සමෙන් වසන්නට නොහැකිවෙයි. බලන කල පිටත සිටියාක් මෙන් පෙනෙයි.

බෝසතාණන්වහන්සේ පිළිසිද ගැනීමෙන් පසු බෝසත් මවට පුරුෂයින් කෙරෙහි අනුරාග සිතක් උපදින්නේ නැහැ. සැපවත් ව ගිලන් නොවූ සිරුරින් යුක්ත වු, කුස තුල වැඩෙන බෝසතුන් වහන්සේ මිණි රුවනක ඇමිණු පඩුවන් නූලක් මෙන් ඇය දකින්නට වුනා. බෝසතුන්වහන්සේ පිළිසිද ගත් මව් කුස සෑයක ඇතුල් ගැබ මෙන් පවිත්‍රයි. වෙනත් සත්ත්වයකුට එම කුස තුළ පිළිසිද ගැනීමට හෝ විසීමට නොහැකිය. එම නිසා බෝසතාණන්වහන්සේ ඉපදී සත් දවසක් ගත වූ කල්හි බෝසත් මව කළුරිය කොට තුසිත පුරයෙහි උප්පත්තිය ලැබීම තවත් එක් ධර්මතාවයක්.

එසේ ම වෙනත් මව්වරු දස මසට නොපැමිණිද ඉක්මවාද දරුවන් වදනු ලබනවා. එහෙත් බෝසත් මව්වරු එසේ නොවෙයි. බෝසත් මව දශ මසක් කුසෙහි දරා නැගිට සිටියදී ම බෝසතාණන්වහන්සේ ව බිහි කරනු ලබනවා. ඒ කරුණු බෝධි සත්ත්ව මාතාවන් පිළිබද ධර්මතාවෝ වෙනවා.

බෝසතාණන් වහන්සේ මවු කුසට පැමිණි පසු ඒ මවු තුමිය අන්‍යයනට පරිභෝග කළ නොහැකිය. ඒ හේතුවෙන් බෝසත් මව ඉවත්කොට අනෙකෙක් අගමෙහෙසිය තනතුරෙහි තබන්නටද නොහැකිය. එබැවින් බෝසත් මවට ආයුෂ බොහෝ නොවෙයි. එහෙයින් එකල්හිම කළුරිය කරයි .කුමන වයසේ දී කළුරිය කරයිද? මධ්‍යම වයසේදීය. පළමු වයස් කාලයෙහි සත්ත්වයන්ට ආත්මය කෙරෙහි ජන්දරාගය බලවත් වෙයි. එහෙයින් එකල හටගත් ගැබ් ඇති ස්ත්‍රීහු ඒ ගැබ ආරක්ෂා කරන්නට නොහැකි වෙයි. ගැබට බොහෝ බාධා ඇති වෙයි. මැද වයසේ ඇත්තියන්ගේ දෙකොටසක් ඉක්මවා තුන්වන කොටසෙහි වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කළ ඉපදුන දරුවෝ නිරෝග වෙති. එහෙයින් බෝසතාණන්වහන්සේගේ මව පළමු වයසේදී සම්පත් අනුභව කොට මැද වයසේ තුන්වන කොටසෙහි ප්‍රසූත කොට දින සතකට පසුව කළුරිය කරනු ලබයි.

පුරුෂයකුට රාග සිතෙන් එළඹිය නොහැකි බෝසත් මවුවරු සහ සතර ගර්භවක්‍රාන්තිය..

බෝසත් මවගේ රූපය ඉතා දක්ෂ සිත්තරෙකුට පවා පොතක අඳින්නට නොහැකිය යනුවෙන් කියනවා. ඒ නිසා එවැනි මහත් රුපසම්පත්තියක් හෙබි එවැන්නියක් දැක පෘථග්ජන මිනිසුන්හට රාගය ඉපදිය නොහැකි යැයි කිව හැකි නොවේ. එමනිසාම ඇගේ රූසපුව කෙරෙහි ඇලුණු රාග සිතින් යම් කෙනෙකු ඇය වෙත එළඹීමට කැමති වෙයිද ඔහුගේ පාද ඔසවන්නට නොහැකි වනවා යනුවෙන් සඳහන් වනවා. ඊට හේතුව දිව්‍යමය විලංගු වලින් බැඳී යාමයි. එය අප මහා බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් දිනයේ සිට තම සැමියා වන ශුද්ධෝධන රජතුමාටත් එකසේ වලංගුයි.

ලොව මිනිස් ප්‍රජාව පිළිසිඳ ගැනීම් සතර නොහොත් සතර ගර්භවක්‍රාන්තිය.

සිහියෙන් යුක්තව බෝධිසත්වයන්වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මව් කුසට පැමිණියේ හතර වැනි ගර්භවක්‍රාන්තියට අනුවයි. එනම් ගර්භවක්‍රාන්තියෝ හතරක් වනවා.

1.මේ ලෝකයෙහි සමහරෙක් සිහිනැතිවම මව් කුසට පැමිණෙනවා, සිහිනැතිවම මව්කුස සිටිනවා, සිහිනැතිවම මව්කුසින් නික්මෙනවා. මේ පළමුවන ගර්භවක්‍රාන්තියයි.

2.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙනවා, සිහි නැතිවම මව් කුස සිටිනවා. සිහි නැතිවම මව් කුසින් නික්මෙනවා. මේ දෙවන ගර්භවක්‍රාන්තියයි.

3.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙනවා, සිහි ඇතිවම මව් කුසේ සිටිනවා, සිහි නැතිවම මව් කුසින් නික්මෙනවා, මේ තුන්වන ගර්භවක්‍රාන්තියයි.

4.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව්කුසට පැමිණෙනවා, සිහි ඇතිවම මව්කුස සිටිනවා, සිහිඇතිවම මව්කුසින් නික්මෙනවා, මේ හතරවන ගර්භවක්‍රාන්තියයි.

මෙයින් පළමුවැන්න ලෞකික මිනිසුන්ට වෙයි. දෙවැන්න අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාටයි. තෙවැන්න අගසව් දෙනමට හා පච්චේක බෝධිසත්වයන්වහන්සේලාටයි. මේ අය කර්මජ වාතයෙන් පාද උඩුකුරුව හිස යට කොට නොයෙක් සිය ගණන් පුරුෂයින් හෙළන ප්‍රපාතයක මෙන් යෝනි මුඛයට වැටී යතුරු සිදුරකින් ඇතෙක් අදින්නාක් මෙන් බොහෝ සම්බාධයන්ගෙන් ගහනව යෝනි මුඛයෙන් නික්මෙන අවස්ථාවේ නොයෙක් දුකට පැමිණෙයි. එහෙයින් ඔවුන්ට අපි නික්මෙමුයි සිහියක් නොවෙයි. හතර වැන්නෙක් කී සර්වඥ බෝධිසත්වයන්වහන්සේ තමන් මව්කුස පිළිසිද ගැනීම දනියි, එහි සිටින බවත් දනියි. නික්මෙන කාලයෙහි ද කර්මජ වාතයට ඔහුගේ පාද උඩුකුරුවන් හිස යටිකුරුවන් කොට හෙළන්නට නොහැකි වෙයි. අත්දෙක දිගු කොට ඇස් හැර සිටගෙනම මනා සිහියෙන් යුතුව ගර්භාෂයෙන් නික්මෙයි.