අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 148
බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 01
දස දහසක් සක්වළ මවිතකරවන දෙතිස් පෙරනිමිති
මිට පෙර ලීවේ අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් චුතවීම පිළිබඳවයි. එලෙස දසදහසක් සක්වළ කම්පාකරමින් දෙව්ලොව අප මහා වීරයාණන් වහන්සේගේ චුතිය සිදුවනවිට මනුලොව ඒබව නොදැනුවත්වම ඒ සඳහා මෙලෙස සියලු කටයුතු සැකසෙමින් පැවතුනා.
එදා කපිල වත්ථු පුරයෙහි ඇසළ නැකත් ක්‍රීඩා පැවැත්වෙන දිනයයි. මහජනයා මහත් ප්‍රීතියෙන් සැමතැනම නැකත් කෙළි පවත්වන්නට වුනා. මහා මායා දේවිය පුන් පොහොයට පෙර සත් දිනක පටන් මධු පානයෙන් තොරව මල්ගද විලවුන් හා සැරසීමෙන් අලංකෘත වූ නැකත් කෙළි නරඹමින් රසවිදිමින් සතුටු සිතින් කාලය ගතකලා. සත් වැනි දින අළුයම නැගිට සුවද පැන් නා සාර ලක්‍ෂයක් වියදම් කොට මහදන් දී සර්වාභරණයෙන් සැරසී රස බොජුන් වළදා උපෝසථ ශීලය සමාදන්ව ඒ සියලු වත්පෙහෙවත් අවසානයේ අලංකාර සිරියහන් ගැඹට පිවිස නින්දට වැටුණා. එදා නින්දේදී ඇය විසින් කිසිම දිනක නුදුටු මෙවන් අසිරිමත් සිහිනයක් දුටුවා.
මහාමායා දේවිය දුටු සිහිනය.
සතරවරම් මහරජවරු ඇය සැතපී සිටි යහන සමග ම ඔසවා හිමවත් පෙදෙසට ගෙනගියා. ගෙනගොස් සැට යොදුන් පමණ වූ රත් ගල් තලාවක මත වූ සත් යොදුනක් පමණ උස පළලවූ මහ සල් ගසක් යට තබා ඉවත් ව සිටියා. ඉන්පසු ඔවුන් සමග පැමිණි දිව්‍යාංගනාවන් අවුත් මායා දේවිය අනෝතප්ත විල වෙතට ගෙනයනු ලැබුවා. ඉන්පසු මිනිස් මළ හරනු පිණිස නහවා දිව්‍යමය වස්ත්‍ර හදවා සුවද උළා දිවමල් පළදවා ඒ ළග තිබුණු රිදී පර්වතය තුළ රන් විමනෙහි පෙර දිගට හිසලා පනවන ලද දිව යහනෙහි සැතපවනු ලැබුවා. එකෙණෙහිම බෝසතාණන්වහන්සේ සුදු උතුම් ඇත් හිසක් ගෙන ඒ ළග තිබුණු රන් පව්වෙහි සැරිසරා එයින් බැස පව්වට නැග උතුරු දිශාවෙන් අවුත් රිදී මල් දමක් බදු හොඩින් සුදු වන් නෙළුම් මලක් ගෙන කුන්චනාද කොට රන් විමනට පිවිස මව සිටි යහනය තෙවරක් පැදකුණු කොට මවගේ දකුණු ඇළය ස්පර්ශ කොට කුස තුළට පිවිසියාක් මෙන් දැනුණා. මෙසේ අප මහා බෝසතාණන්වහන්සේ උතුරුසළ නැකතින් පිළිසිද ගනු ලැබුවා.
සිහිනයෙහි අරුත් දැනගැනීමට පඬිවරුන් කැඳවීම.
සිහිනයක් ලෙස ඇයට පෙනුණත් එය සත්‍යාකාරවම සිදුවනා. ඒ නිසා එය සැබවින්ම සිහිනයක්ද ඇත්තක්ද යනුවෙනුත් ඇයට සිතෙන්නට ඇති. පසුදින පිබිදුණු දේවිය මේ සිහිනය රජුට සැළකලා. රජතුමා එය සැහැල්ලුවට ගත්තේ නැහැ. රජතුමා ක්ෂණිකවම ඒ උදෑසණ සුසැටක් බමුණු පඩිවරුන් රජ මැදුරට කැඳවනු ලැබුවා. කොළ පැහැයෙන් පිරිබඩ කළ විළද ආදියෙන් මංගලශ්‍රීයෙන් යුත් බිම මහගු අසුන් පණවා එහි හුන් බමුණන්ට ගිතෙල් මී ආදියෙන් මිශ්‍ර වූ රසවත් කිරිබත් රන්, රිදී, පාත්‍ර පුරවා රන්, රිදී, බදුනින් සංග්‍රහ කරන්නට වුනා. තවත් අළුත් වස්ත්‍ර හා කිඔුල් වන් දෙනුන් ද දී ඔවුන් සතුටු කරනු ලැබුවා. මෙසේ කැමති දේ ලැබීමෙන් තෘප්තිමත් වූ බමුණන්ට හීනය සැළ කොට එහි අරුත් ඵල විපාක විමසනු ලැබුවා. ඒ සියල්ලටම හොඳින් කන්දුන් ඒ බමුණන් මෙලෙස එහි අර්ථය පහදන්නට වුනා.
මහාමායා දේවිය දුටු සිහිනයේ අරුත බමුණන් විසින් පැහැදිළි කරදීම.
“මහරජ නොසැලෙනු. ඔබ දේවියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඒ පිරිමි දරු ගැබකි. ස්ත්‍රී ගැබක් නොවේ. ඔබට පුතෙක් උපදින්නේය.ඔහු ගිහි ගෙයි වසන්නේ නම් සක්විති රජෙක් වන්නේය. ඉදින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙළෙස් පියසි දුරු කළ බුදු වන්නේය.”
මෙවැනි දෙයක් කණවැකුණු පියකුගේ හෝ මවකගේ සිතෙහි ඇතිවන සතුට කොපමණදැයි ඔබට සිතා ගැනීමට හැකියි.
කල්ප ගණනකට පසු යලිත් දෙතිස් පෙර නිමිති ලොව පහළවීම.
ඒ විතරක් නෙවෙයි. බෝසතාණන්වහන්සේ මව් කුසෙහි පිළිසිද ගත් කෙනෙහිම එකවර දශ දහසක් සක්වල කම්පාවුනා. සෙළවුනා. වෙව්ලුවා. මිට පෙරත් කී පරිදී දෙතිස් පෙර නිමිති පහළ වුනා. දස දහසක් සක්වල මහත් ආලෝකයක් පැතිරුණා. කිසිවිටකත් ඉර සඳුගේ එළිය නොවැටෙන ලෝකාන්තර නිරය (සක්වළවල් තුනක් අතර ඇති හිඩැස. හරියටම කරත්ත රෝද තුනක් එක්කලවිට ඇතිවෙන පිරවීමට නොහැකි හිඩැස මෙන්.) පුරා ආලෝකය පැතිරීම. ඒ බෝසතාණන්වහන්සේගේ රූසපුව දකින්නට මෙන් අන්ධයෝ ඇස් ලැබුවා. ධර්මශ්‍රවනයට මෙන් බිහිරන්ට ශබ්ද ඇසුනා. ධර්ම සාකච්ඡාවට ඉඩ ලැබුණු විලස ගොළුවනට කතා කිරීමට හැකියාව ලැබුණා. කුදු අයගේ කුදු ගතිය නැති වුනා. පිල්හු දෙපයින් ගමන් කලා. සිරගත අය එයින් මිදුණ. සියළු අපායන්හි ගිනි නිවිගියා. ප්‍රේත යෝනියෙහි සා පිපාසා සංසිදිනා නිරන්තරයෙන්ම බයෙන් පෙලෙන තිරිසන් සතුන්ගේ බිය නැතිවුණා. එකිනෙකාව ගොදුරු කරගන්නා සතුන් මිත්‍ර ස්වභාවයක් පෑවා. සියළු සත්ත්වයන්ගේ ම රෝග සුව වුනා. සියළු සත්ත්වයෝම ප්‍රිය තෙපුල් ඇත්තෝ වුනා. අශ්වයෝ මිහිරි හඩින් හේසරාව නාද කලා. ඇත්හු කුංච නාද කලා. සියලු තුර්යය භාණ්ඩ ඉබේම සිය නාද මුදා හැරියා. මිනිසුන් පැළද සිටි ආභරණ එකිනෙක නො ගැටීම නාද වුනා. සියලු දිශා පැහැපත් වුනා. හැමදෙනාට ම සුව ගෙන දෙන සේ සිනිදු සිසිල් වාතය හමන්නට වුනා. අකල් වැසි නො වට, පොළොවෙන් ජල ධාරා නැගී ගලා ගියා. පක්‍ෂිහු අහස් ගමන අත්හැර බිමට බැස්සා. ඇල දොළ ගංගා ගැලීම නතර වුනා. මුහුදු ජලය මිහිරි වුනා. ගොඩ බිම සැමතැන පස්වන් මලින් වැසුණා. එකෙණෙහි ගොඩ බිම සියළු මල් පිපිණා. ගස් කදෙහි පිපෙන මල් ද අතුවල පිපෙන මල් ද වැල්වල පිපෙන මල් ද ක්‍ෂණයෙහි පිපිණා. පොළොවෙහි ගල්තලා බිද එක එකක් මත්තෙහි සත සත සිටින සේ දණ්ඩපදුම පිපිණා. අහසෙහි එල්බෙන පියුම් ද පිපිණි. හාත්පස මල් වර්ෂා වැටිණා. අහසෙහි දිව්‍යය තුර්යය භාණ්ඩ වාදනය වුනා. දශ දහසක් සක්වල වට කොට තබන ලද මල් ගුලියක් මෙන් ද තද කොට බදින ලද මල් කළබක් මෙන් ද අලංකාර කොට සාදන ලද මල් අසුනක් මෙන් ද එකම මල් මාලාවක් මෙන් ද පොපිවන් මල් විදුනාවක් මෙන් ද මල් සුවදින් හා දුම් සුවදින් සුවදවත් ව අතිශය ශෝභාවෙන් අග තැන්පත් වුනා. සත්‍යවශයෙන්ම එදින මගුල් සක්වළක සැබෑ සිරි පැවා.