අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 142

 

ඔබද යායුතු දෙවුලොව අපේ සක්වලෙහි පවතින ලෝක බුදු ඇසින්

අප සක්වලෙහි සත්ත්වයන් වාසය කරන ලෝක 31 එකක් පවතින බව අපේ බුදුහාමුදුරුවන් දේශනා කොට තිබෙනවා. ඒ ලෝක තිස්එක ප්‍රධාන කොටස් තුනකට බෙදාදක්වනවා. ඒ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය වශයෙන්. කාම ලෝකයට ලෝක එකොළහක් අයත්. ඒ තමයි අප ජිවත් වන පෘථිවිය, සතර අපාය සහ කාමාවචර දිව්‍යතල වලට අයත් දිව්‍යලෝක සය. ඒ සියල්ලේ එකතුව 11 ක් වෙනවා. ඊට අමතරව රූපාවචර සහ අරූපාවචර නමින් බ්‍රහ්මලෝක විස්සක් තිබෙනවා. මේ සියල්ලම එක් වුනහම ලෝක විසිඑකක් වෙනවා.

කාම ලෝකයත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කාම සුගතිය සහ කාම දුගතිය වශයෙන්. අපි ජීවත්වන පෘථිවියයි ඊට ඉහලින් ඇති කාමාවචර දිව්‍යතල හයටයි කියනවා කාම සුගතිය කියලා. සතර අපායට කියනවා කාම දුගතිය කියලා. අප මහා බෝධිසත්වයන් බුද්ධත්වය සඳහා මනු ලොවට වඩින්නේ ඉහතින් දැක්වූ දිව්‍යතල සයෙන් එකක සිටයි. ඒ දිව්‍ය තලයට කියනවා තුසිත දෙව්ලොව කියලා. අපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙලේ දෙවන කොටස ඇරඹෙන්නේ එතැනින්. ඒ නිසා මෙතැන් සිට ඒ දිව්‍යතල සයට අයත් පොදු සැප සම්පත් ගැන කෙටි විස්තරයක් ගෙනෙනවා

කාමාවචර දිව්‍යලෝක සය

චාතුම්මහාරාජිකය,

අප හොඳින් දන්නා හඳුනන 1.ධ්‍රැතරාෂ්ට්‍ර, 2.විරෑඪ, 3.විරෑපාක්‍ෂ හා 4.වෛශ්‍රවණ(කුවේර) සතරවරම් දෙවිවරුන්ගේ සහ දෙව්රජ දරුවන්ගේ රාජ්‍ය සතර මෙම දෙව්ලොව පිහිටා ඇති බැවින් මෙයට චාතුම්මහාරාජික දෙව්ලොව කියා කියනවා. දෙව්ලොව වාසය කරන සත්ත්වයන් “දේව” වශයෙන් හඳුන්වන්නේ ඔවුන් රූපාදියෙන් බබළන නිසයි. සෑම දෙවිකෙනේකුගේම ප්‍රභාෂ්වරභාවය අවම වශයෙන් ගවු දොළහක්වත් දුරට පැතිරෙනවා කියලයි කියන්නේ. ඒ ඒ දෙවියන්ගේ පුණ්‍ය ශක්තිය මත මෙය එයටත් වඩා බොහෝ දුර විහිදිය හැකියි. චතුර්මහාරාජික දෙවිවරු මහාමෙරු පර්වත මධ්‍යයෙහි වාසය කරනවා. ඔවුන් අතර පර්වතවාසීහු ද ආකාශස්ත වාසින්ද සිටිනවා. ඔවුන්ගේ පරපුර චක්‍රාවාට පර්වතය දක්වා විහිදෙනවා.

මේ දිව්‍ය ලෝකයට අධිපති වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්, මිනිස් ලෝකයේ මිනිසුන් සිදු කරන හොඳ වැඩ, නරක වැඩ, කුසල් අකුසල් දෙස දිවැස් හෙළාගෙන බලා ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මේ දිව්‍ය සමූහයා සූත්‍ර දේශනා පවා අසන්නට මනුෂ්‍ය ලෝකයාට පැමිණිලා තිබෙනවා. නැගෙනහිර දිශාවට අධිපති වන්නේ ධෘතරාෂ්ඨ දෙවියන්, දකුණු දිශාවට විරූඪ දෙවියන්, බස්නාහිර දිශාවට විරූපාක්ෂ දෙවියන් හා උතුරු දිශාවට වෛශ්‍රවණ දෙවියන් අධිපති වෙනවා. මේ දිව්‍ය ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස හඳුන්වන්නේ විශ්ව කර්ම දිව්‍ය රාජයා.

දේව නිකායන්.

බ්ඩ්ඩාපදෝසික, මනෝපදෝසික සීත වලාහක දෙවියෝද උෂ්ණ වලාහක දෙවියෝද අබ්භවලාහක දෙවියෝද වැස්සවලාහක දෙවියෝද චන්දිම හා සූරිය දේවපුත්‍රයෝ ද චාතුම්මහාරාජික දේව ලෝකයෙහිම වාසය කරනවා. ඒ චාතුම්මහාරාජිකයන්ගේ ජීවිතයයි.

‘ඛිඩ්ඩාපදෝසික’ කියන්නේ චතුර්මහාරාජිකයේ ජීවත්වෙන සෙල්ලමින් කල්ගෙවා ආහාර ගන්නට බැරිවීමෙන් චුතවෙන විශේෂ දේව කොට්ඨාශයකට කියන නමක්. ඔවුන් වෙලාව ඉක්මවා යනතුරු ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, එහිම ඇලෙමින්, ඒ තුළම වාසයකර සිහි මුලාවීම නිසා ඒ දෙවිවරු ඒ දෙව්ලොවෙන් චුතවෙනවා. 

‘මනෝපදෝසික’ කියන්නේ වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලගෙන ඉන්නා දේව කොට්ටාසයක්. ඔවුන් වේලාව ඉක්මවා යනතුරු එකිනෙකා දෙස කිපුණු සිතින් බලාගෙන ඉන්න කොට එකිනෙකාගේ සිත් දූෂ්‍ය වෙලා යනවා. එකිනෙකාගේ සිත් දූෂ්‍ය වීමෙන් කය ක්ලාන්ත වෙනවා. සිත ක්ලාන්ත වෙනවා. එතකොට ඒ දෙවිවරුත් ඒ ලෝකයෙන් චුත වෙනවා.

චාතුම්මහාරාජික දෙව්ලොව ආයුෂ

මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව්ලොවට එක් දිනයක්. එවැනි දින 30ක් එහි මාස එකක්. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක්. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වනවා. එය අප ලොව මනුෂ්‍ය ආයුෂ වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූ ලක්‍ෂයක් වැනි දීර්ඝ කාලයක්. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මෙම දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන දිව්‍යලෝක කාලය තවමත් දින පනස් ගණනක් පමණයි.

මනුලොව සිට දෙව්ලොව දක්වා දුර ප්‍රමාණය.

දිව්‍ය ලෝක අතරින් පහළින් ම පිහිටා තිබෙන්නේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයයි.. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක්(42000) දුරින් මේ දිව්‍ය ලෝකය පිහිටා තිබෙන්නේ. එතැන් සිට යොදුන් 42 000 බැගින් දුරකින් අනෙක් දිව්‍ය ලෝක පිළිවෙළින් ඉහළට පිහිටා තිබෙනවා යනුවෙන් සඳහන්ව තිබෙනවා.

තාවතිංසය

මඝමානවකයා ඇතුළු යහළුවන් තිස්තුදෙනා බොහෝ පුණ්යකර්ම කොට උපන් දෙවු ලොව යන අර්ථයෙන් තාවතිංසය නොහොත් තව්තිසා දිව්‍ය ලෝකය නමින් ද හඳුන්වනවා. චාතුර්මහා රාජිකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් තාවතිංසය පිහිටා තිබෙනවා. ඉතා විශාල සැප සම්පත් තිබෙන මෙම දිව්‍ය ලෝකයට අධිපති වන්නේත් ශක්‍ර දේවේන්ද්‍රයන්මයි. ඒ නිසා ඔහුට දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවිඳු කියලාත් කියනවා. ඔවුන්ද පර්වතවාසීහු ද ආකාශස්ථයෝ ද වනවා. ඔවුන්ගේ පරපුර ද සක්වල ගල දක්වා පැතිර පවතිනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහා මායා දේවිය කළුරිය කරලා, තාවතිංසය දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයෙක් ලෙසයි උපත ලබා තිබෙන්නේ. එතුමන්ට ධර්ම දේශනා කරන්නට පවා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. ඒ වගේම දරුවනේ, බුදුරජාණන් වහන්සේ හත්වැනි වස් කාලය ගත කර තිබෙන්නේත් තව්තිසා දිව්‍ය ලෝකයේ. ඒ වස් තුන්මාසයේ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දිව්‍ය සමූහයකට උන්වහන්සේ අභිධර්මය දේශනා කොට තිබෙනවා. ඒ කාල සීමාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර තිබෙන්නේත්, දෙවිවරු. තව්තිසාවේ ඉන්නා දෙවියන්ගේ ස්වරූපය, නැතිනම් ලස්සන රූපශ්‍රීය ලිච්ඡවී රජ දරුවන්ගේ රූපයට සමාන වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සිළුමිණි සෑය, පරසතු වෘක්ෂය, සහ පරසතු වෘක්ෂය පාමුල ඇති පණ්ඩුකම්බල ශෛලාසනය පිහිටා තිබෙන්නේත් තව්තිසාවේ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතිංස දෙව්ලොවට එක් දිනයක්. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වෙනවා. එවැනි දිව්‍ය වර්ෂ 1 000ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වනවා. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 3 60 00 000 කි. බුද්ධ පරිනිර්වානයෙන් පස්සේ තාවතිංස දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින විසි ගණනක්.

යාමය

තව්තිසා දිව්‍ය ලෝකයේ සිට යොදුන් හතළිස් දෙදහසක් ඉහළින් යාමය දිව්‍ය ලෝකය පිහිටා තිබෙනවා. යාමය දිව්‍ය ලෝකයේ අධිපති “සූයාම’ නම් දිව්‍ය රාජයා. යාමයෙහි වාසය කරනවා කියන්නේ කිසිම දුකකින් තොරව ජීවත් වනවා යන්නයි. මෙහි ඉපදීම බොහෝ දුෂ්කර වුවද එයින් චුත වීම එතරම් කෙටි කලකින් සිදු නොවෙයි. මනුෂ්‍ය ලෝකයේ වසර දෙසීයක් යාමයේ එක දිනයයි. බුද්ධ පරිනිර්වානයෙන් පසුව යාමය දිව්‍ය ලෝකයේ ගෙවී තිබෙන කාලය දින දහතුනයි.

තුසිතය

තමන් ලැබූ සැප සම්පත් නිසා ඉතා සතුටින් ජීවත්වනවා යන්න තුසිතය යන්නෙහි අර්ථයයි. සතුටු වන දෙවියන් සිටින දිව්‍ය ලෝකය තුසිතයයි. යාමයේ සිට යොදුන් හතළිස් දෙදහසක් දුරින් පිහිටා තිබෙන තුසිතයට අධිපති ‘සංතුසිත’ දිව්‍ය රාජයාය. ‘සංතුසිත’ කියන්නේ සැම විටම සතුටින් සිටීමයි. අනෙක් දෙවිවරුන්ට වඩා සුවිශේෂී අයයි මෙහි වාසය කරන්නේ. ලෝකයෙහි ධර්මයෙන් පෙළහර පානා පිනැතියන් පහළ වන පුණ්‍ය භූමිය තුසිතයයි. තෙවන ධර්ම සංගායනාවේ මුලසුන හෙබවූ මහාමොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේද අටුවාචාරී බුද්ධඝෝසයන් වහන්සේද මෙහි ඉපදීමට පෙර අත් භවයෙහි තුසිතයෙහි වැඩ සිටි බව සදහන්ය. සිදුහත් බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ ‘ශ්වේතකේතු’ නම් දිව්‍ය පුත්‍රයෙක්වයි උපත ලබා සිටියේ. මිනිස් ලෝකයේ අවුරුදු හාරසියයක් තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයයි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වනවා. එවැනි දිව්‍ය වර්ෂ 4000ක් එහි අයුෂයි. .(මනුෂ්‍ය වර්ෂ 57,60,00000) බුද්ධ පරිනිර්වාණයෙන් පසු එහි ගෙවී තිබෙන කාලය දින හයයි.

නිම්මාණරතී

ප්‍රකෘතියෙන් පිළියෙළ වූ අරමුණට වඩා වැඩියෙන් රමණය කරනු කැමති විටෙක කැමති පරිදි ඒ සම්පත් මවාගෙන රමණය කෙරෙති යි නිම්මාණරති නම් වනවා. තමන් උදෙසා නිර්මාණය වූ සම්පත්වලට ඇලීමෙන් වාසයකරන දිව්‍ය සමූහයා වෙසෙන ස්‌ථානය නිම්මාණ රතියයි. මෙම දිව්‍ය ලෝකයෙහි අධිපති වන්නේ “සුනිම්මිත ” දෙවියන්ය. මනුස්ස ලෝකයෙන් අවුරුදු 800 ක් මෙම දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි අවුරුදු 8000 ක් එහි ආයුෂය. එය මනුස්ස අවුරුදු වලින් බිලියන දෙකයි මිලියන තුන්සිය හතලිහයි. විශාඛා උපාසිකා වැනි මහා පිනැතියන් මෙම දිව්‍ය ලෝකයෙහි උපත ලැබූ බව සඳහන්ය.

පරනිම්මිත වසවත්තී

අනුන් විසින් නිමවන ලද අර්ථය පරිනිම්මිත යන්නෙන් ලැබේ. යම්කිසි දෙවියෙක්‌ අනුන්ගේ දිව්‍ය සම්පත් තමන් අතට ගෙන සැප විඳී නම් ඔවුන් පරනිම්මිත දෙව්වරුය. මෙම දිව්‍ය ලෝකයෙහි අධිපති වන්නේ ” වසවත්ති ” දිව්‍ය රාජයාය. මනුස්ස ලෝකෙන් අවුරුදු 1600 ක් මෙම දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි අවුරුදු 16000 ක් මෙම දිව්‍ය ලෝකයට ආයුෂය. එය මනුස්ස අවුරුදු වලින් බිලියන නමයයි මිලියන දෙසිය දහසයක් වෙනවා.

අපරිමිත මගඵල ලාභී පිනැතියන්ගේ භූමි වූ මෙම දිව්‍ය තල වත්මන් සසර අසරණ සත්ත්වයන්ට සිත පිහිටුවා ගත අභයස්ථාන ලෙස මෙම භූමි අපිට පෙන්වන්න පුලුවන්. බුදුරජාණන් වහන්සේ සද්ධා සීල සුත චාග පඤ්ඤා වැඩීමෙන් , දියුණු කිරීමෙන් මෙම දිව්‍ය තලයන්හි උපදින්න පුලුවන් බවත් එම දිව්‍ය තලයන් පිළිබඳ මෙනෙහි කිරීම දේවතානුස්සති භාවනාවක් හැටියටත් පෙන්වලා දුන්නා. සනඞකුමාර වැනි උසස් බ්‍රහ්මයන් ඇතැම් දිව්‍ය තල වලට පැමිණ ධර්ම සාකච්ඡා කරන අයුරුද දකින්න ලැබෙනවා. එවැනි දහම් කථා අසමින් මගඵල ලාභී දෙවියන් ඇසුරෙහි වාසයද සැපයක්මය.