අපේ බුදුහාමුදුරුවෝ 138
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 33
රජු විසින් ජූජක බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.
ජාලිය කුමරා මද්‍රී දේවිය ගැන කියූ දුක්බර කතාව.
ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා නහවා වළදවා සරසවා එක් දරුවකු මුත්තාගේත් එක් දරුවකු මිත්තණියගේත් උකුලෙහි හිදුවා ගත්තේ මහත් වූ සෙනෙහසින්. ඒ විතරක් නෙවෙයි. ඔවුන් වෙසතුරු කුමරුගේ හා මද්‍රි දේවියගේ තොරතුරු දැනගැනීමේ මහත් වූ ආශාවකින් හිටියේ. පිය මහරජ දරුවන් ඇකයෙහි හිදුවා මෙසේ ඇසුවා.
” ජාලිය කියන්න, ඔබගේ මව්පිය දෙදෙනා නිරෝගීද? වනමුල් පලයෙන් යැපෙත්ද? එහි අල හා පලවැලබොහෝ ඇත්ද? මැසිමදුරුවන් සර්පයෝ අල්ප වෙත්ද? නපුරු වනසතුන්ගෙන් ගහන වනාන්තරයෙහි ඔවුන්ට පීඩාවක් නැද්ද?”
“ජාලිය කුමරු, එසේය දේවයිනි, මාගේ මව්පිය දෙදෙනා නිරෝගී වෙත්. එසේම වනමුල් පලවැලයන්ගෙන් යැපෙති. එසේම අල හා පලවැල බොහෝ ඇත. එසේම මැසිමදුරුවෝද සර්පජාතීහුද අල්පමය. වන මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි ඔවුන්ට පීඩාවක් නැත. ඒ අපගේ පින්වත් මව්තොමෝ අලද හුරුඅලද කටුඅලද කෙකටිය අලද කණිමින් ඩෙබර පලද බදුලු පලද බෙලිපලද ගෙනවුත් අප පෝෂණය කරයි. වනමුල් පල ගෙනෙන ඒ අපගේ පින්වත් මව්තුමෝ යම් දෙයක් ගෙන ඒද අපි හැමදෙනම එක්ව ඒවා රාත්‍රියෙහි වළදම්හ. දහවල් නොවළදම්හ. අපගේ මව්තුමෝ සියුමැලි වුවා රුක් පලාගෙන එන්නී අව් සුළගින් බැහැර සුදුව ගියාය. අතින් මඩින ලද පියුමක් වැන්න. නපුරු වන සතුන්ගෙන් ගැවසී ගත් කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනා ලද මහා වනයෙහි ඇවිදින අපගේ පින්වත් මව් ගේ හිසකෙස් ඉතා තුනීව ගියේය. කෙස් දළ මඩුළු ලෙස බැදී සිටී. එහි අල ද හුරු ද සරන්නී අපට ලබා දෙන්නේය.එසේ මව්පියන්ගේ කාර්ය බහුල ජීවිකාව වර්ණනා කරන ලදී.
දේවයිනි, මහා වනයෙහි ඇවිදින්නා වූ මාගේ පින්වත් මව්ගේ බඹරපත් වැනි කළුකෙස් ගස් අතු ආදියෙහි පැටලී තුනීව ගොස්ය. කිලිටිව හැසිරෙයි. දෙකිසිලි දැලි දරයි.සම් හැදින්නීය. බිම සිටී. ගිණි පුදයි.
ජාලිය කුමරුගේ දෝෂාරෝපණයෙන් මිත්තනුවන් ලැජ්ජාවට පත්වීම.
මෙසේ මවගේ දුක්ඛිත බව කියා මුත්තණුවන්ට චෝදනා කරමින් මෙසේද කීවා. ඊට හේතුව දන්දීමේ වරදට තම පියණන්ව වංක ගිරියට පිටමංකිරීමයි.
මුත්තනුවණි, ලෝකයේ මිනිසුන්ට දරුවෝ ප්‍රියව උපදෙති. අපගේ මුත්තණුවන්ට දරු සෙනෙහස නුපන් වනැයි සිතම්හ.
ඉක්බිත රජු තමන්ගේ වරද හෙළිකරමින් මෙසේ කීවා. දරුව, අප විසින් නපුරක් කරන ලදි. මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරන ලදී. ඒ මම සිවිරට වැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරපීමි. පුත, මෙහි මා සතු යමක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද ඒ හැම දෙමි. වෙසතුරු රජ ඒවා සිවිරට නගරයට අනුශාසනා කෙරේවා. එවිට ජාලිය කුමාරයා මෙසේ කිවා.
“දේවයිනි සිවිරට වැසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නොඑයි. දේවයෝ තුමුම ගොස් පුතණුවන් සම්පතින් අභිෂේක කරන්න. “
ඉන්පසු රජතුමා සෙනෙවියා හට මෙසේ කීවා.
වෙසතුරු කුමරු රැගෙන ඒමට සංවිධානය කල අරුම පුදුම චතුරංග සේනාව.
“ඇත්,අස්,රිය,පාබළ,සේනාවෝ සන්නද්ධ වෙත්වා. නියම්ගම් වැසියෝද පෙරවි බමුණෝ ද මා අනුව එත්වා. මාගේ පුත්‍රයා හා සහජාත වූ හැටදහසක් ඇමතිවරු ,ඇතැම් කෙනෙක් නීල වස්ත්‍ර ධරව ,ඇතැම් කෙනෙක් පීත වස්ත්‍ර ධරව අන්‍යයෝ රක්ත වර්ණ නළල් පට ධරව. ඇතැම් කෙනෙක් ශ්වේත වර්ණ වස්ත්‍ර ධරව, මෙසේ නන් වස්ත්‍රයෙන් සැරසී ඉක්මනින් එත්වා. සුවද මල්පල ඇති එහෙයින්ම ගන්ධමාන නම් නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රක්‍ෂාදී මහා භූත සමුහයා ට නිවාස වූ හිමවත් පර්වතය යම්සේ දිව ඔසුවෙන් දිසා බබළාද සුවද හමාද එසෙයින් සන්නද්ධ වූවාහු ඉක්මනින් එත්වා. පැලදී අභරණින් දිසා බබළත්වා. තවරාගත් විලවුන් සුවද හමත්වා. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැදින් සාදන ලද අඩයටි හා අකුසු ගත් අත් ඇති ඇත්රුවන් විසින් අරා හිදුනා ලද තුදුස් දහසක් ඇතුන් යොදත්වා. දක්වන ලද විභුෂණ ඇති සන්නද්ධ භටයෝ ඇතුන්පිටින් වහා එත්වා. ඉක්බිති දුනු හී දරන අසරුවන් විසින් හිදුනා ලද ජාතියෙන් අජානේය වූ සින්ධු දේශයේ උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා.අලංකෘත සන්නද්ධ වූවාහු අශ්වයන් විසින් වහා එත්වා. ඉක්බිත ලෝභයෙන් මොනවට කරන ලද නිම්වළලු ඇති රන්කම් කළ රථ ඇති තුදුස් දහසක් රිය යොදත්වා. ඒ රියෙහි ධ්වජ නගත්වා. ඵලකායුධයන් හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා. පහරදෙන දුනුවායෝ දුනුදිය නගත්වා. රියදුරෝ සන්නද්ධව රියෙහි හිද වහා එත්වයි” අණ කරනු ලැබුවා.
මෙසේ රජතුමා සේනා අංගයන් විමසා බලා මාගේ පුත්‍රයාට ජයතුරා නගරයේ සිට වංකගිරිය දක්වා උසභ අටක් පමණ වූ ගමන්මග සමතලා කොට මග සැරසීම සදහා මේ මේ දේ කරවයි අණ කරමින් මෙසේ කීය.
රජතුමා කුමරු වඩින මග සරසන ආකාරය නියම කිරීම.
ඉස්නා ලද පස්මල් මල්දම් හා සුවද විලෙවුන් ප්‍රතිපාදන කරව. වෙස්සන්තර යම් මගකින් එයිද ඒ මග මල් ඇගෑ රුවන් ඇගෑද සිටුවා. යම් මෙගෙකින් ඒද ඒ මග ගම්දොරක් පාසා රහමෙර පුරවන ලද සියක් කළ තබාවා. යම් මගෙකින් ඒද ඒ මග මස් ද කැවුම් ද ආස්මි ද මසින් යුතු කොමුද තිබේවා. යම් මගෙකින් ඒ ද එමගෙහි ගිතෙල් ද තලතෙල් ද දී ද කිරි ද තණපිටියෙන් හා වී පිටියෙන් කළ බොහෝ සුරාද තිබේවා. බත් පිසින්නොද මාළු පිසින්නොද නටන්නෝද නටා ගී කියන්නෝද අත්තල ගසනුවෝද කළබෙර වයනුවෝද මුණ්ඩකයෝද ශෝක නසනුවෝද එත්වා. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණට කැරකුණු සක් පිඹිත්වා. පුෂ්කර වාදය වයත්වා. මෙසේ රජු මග සැරසීම් පිළියෙල කරවිය.
ජූජක බමුණාගේ හදිසි මරණය.
බමුණාද සීමාවට වඩා ආහාර අනුභවකොට දිරවා ගන්නට අසමත් වුයේ එහිම මළේය. රජු ඔහුගේ සිරුර කිස කරවවා නගරයෙහි බෙර හසුරුවා ඔහුගේ කිසි ඤාතියකු දුටුවේ නැත.ධනය නැවතත් රජුටම අයත් විය.
මහා චතුරංග සේනාව වංකගිරිය බලා පිටත්වීම.
එතැන් සිට සත්වන දිනයේ රජු අණ කල පරිදී සියළු සේනාවෝ එක්රැස් වුණා. රජු මහත් පිරිවරින් ජාලිය කුමරුව ගමන්මග ප්‍රධානියා කොට පිටත්ව ගියා. එසේ ගමන් ගත්තා වූ සිවිරජහු උසුළන ඒ සෙනග මහත්වී මග කියන ජාලිය හා සමග වංකගිරියට නික්මුණා. මහත් සිරුරු ඇති ගැඹුරු හඩ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන්පොරොදු බදනා ලබන කල්හි කුංචනාද කරයි. අජානීය අශ්වයෝ හේසරාව කළහ. නිම්වළලු හඩ මතුවිය. ධූලි අහස වැසීය.චතුරංගනී සේනාව ගමන්හි යෙදුනේය. ගමනෙහි යෙදුණු නිල් තණබිම් හරනා වූ ඒ සේනාව විශාල විය.ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසිය. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.
කලිඟුරටවැසියනට දන්දුන් මංගල හස්තිරාජයා යලි ලැබීම.
ඒ එක්කම තවත් ආශ්චර්යයක් වුණා. මේ සියල්ලටම මුල් වුන මංගල හස්තිරාජයා කලිගුරටවැසි බමුණෝ තමන්ගේ රටෙහි වැසි වට කල්හි ගෙන අවුත් සංජය රජුට ආපසු දුන්නා. ඒ හස්තියා තමන්ගේ ස්වාමියාව දැකගන්නට ලැබේයැයි සතුටින් කුංචනාද කළා. ගෙනයාමට ඇත් රජු රන්පටියෙන් බදිනු ලබනවිට සතුටින් කුංචනාද කළා.
මහා රාජ කාණ්ඩය නිමි.