අපේ බුදුහාමුදුරුවෝ 135
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 30
දරුවන් නොලද සොවින් සිහිසුන්වූ මද්‍රී දේවිය.
ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.
දරුවන් සොයමින් වැළෙපෙමින් පටාචාරාව සේ වනය පුරා දිව ගිය වෙස්සන්තර දේවිය.
මම දඩමඩුළු දරන්නී බඹසර රකින්නි අතවැසි මානවකයෙක් ඇදුරහුට මෙන් හිමියන්ටද දරුවන්ටද දිවා රෑ අප්‍රමාදීව මෙහෙ කලෙමි. එහෙත් මම ලෝකයේ බඹසර පිහිටකොට ඇති බොහෝ ඇසුපිරූ තැන් ඇති සිල්වත් මහණුන්ටද බමුණන්ටද ශාප කර ඇත්තාක් සේය. එහෙයින් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නොදකිමි. දරුවනි, මම තොප කැමැත්තෙන් අදුන්දිවිසම් පොරවා වනමුල් පලවැල ගෙනයමින් දිවාරාත්‍රී ඇවිදිමි.
දරුවනි, මේ රන්වන් කසාය, කල්ක ගෙනෙන ලදී. ඔබලාට සෙල්ලම් කිරීමට රන්වන් බෙලිපල ගෙනෙන ලදය. ගස්වල ඉදුණු මිහිරිපලද ගෙන ආමි. ඔබලාට කෙළිබඩු රැගෙන ආමි. මේ නෙලූඹුදැලි වළලුය, ඕලුය, පිඤ්ජර යුෂය යන මේවා තිබේ. රජතුමනි, දඩුයෙල්බෑ මීයෙන් හනන ලදුවැ දරුවන් හා එක්ව වලදන්න. මේ පියුම් ජාලියට දෙන්න. ඇඹුලමල කුමරියට දෙන්න. මල් පැළවන් නටන දරුවන් බලන්න, සිවි රජතුමනි දරුවන් කැදවන්න. ,ඇය මෙසේ කිය කියා හඩයි.
රජතුමනි, මියුරු හඩ ඇති සිත්කළු ස්වභාව ඇති ක්‍රිෂ්ණජිනාවද අසපුව කරා යන්නීය. බලන්න. රටින් නෙරපන ලද අප දෙදෙනා සමාන සුවදුක් ඇත්තෝ වෙමු. සිවි මහරජුනි, ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දුටුවාද? සිවිරජතුමනි දරුවන් දකින්නෙහිද? දකීනම් මට පෙන්වන්න. ඇයි මා වෙහෙසට පත් කරන්නෙ. මෙසේ වැළපෙන්නාවූ ඇයට බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් පැවසුවේ නැත.
ඇය ඔහු කිසිවක් නොකියන කල්හි කම්පාවෙමින් සදඑළියෙන් දරුවන් සොයන්නී ඒ ඒ දඹරුක් ආදී තැන්වල පෙර ඔවුන් ක්‍රීඩා කළේද ඒ ඒ තැන්වලට ගොස් වැලපෙමින් මෙලෙස කියන්නට වුනා. මේ දරුවන් සෙල්ලම් කළ තැන්වල දඹරුක්ය, එල්ලෙන අතු ඇති සිදුවරය. නන්වැදෑරුම් පලරුක්දෑය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර යම්තැනක හිද ක්‍රීඩා කලේද මේ ඒ අරම එලෙසම පවතී. මේ සිහිල් දිය ඇති හොයද තිබේ. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක මල්වර්ග පැළදියාහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පුෂ්පවර්ග ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක යම් ඵලාජාති වැළලුහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පලජාති ඇත. එහෙත් දරුදෙදෙනා නැත. පෙර දිනක යම් පෙතලිරුවින් ක්‍රීඩා කළාහුද මේ ඒ ඇත්රූපය අස්රූපය මේ ඒ ගොනුන්ගේ පෙතලි රූපද ඇත. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි පර්වතය මත්තේ දරුවන් නොදැක හඩන්නී ඉන් බැස නැවත අසපුවට අවුත් එහි ඔවුන් ගැන සිතන්නී ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩයන් දැක මෙසේ කීවාය.පෙර යම් කෙනෙකුන් හා සමග ක්‍රීඩා කළාහු නම් ඒ කුඩා සමවන් මුවෝය. සාවෝය. බකමූණෝය. බොහෝ වූ කෙහෙල්මුවෝය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙරයම් කෙනෙකු හා ක්‍රීඩා කළාහුද මේ ඒ හංසයෝය. කොස්ලිහිණියෝය. විසිතුරු පිල්කළඹ ඇති මොනරුය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි කුඩා මුවෝ, රන් මුවෝ, හාවෝ ද මහ මුහුණෝ ද ඇත දරුවන් දෙදෙනා නොමැත. ඇය අසපුවෙහි ප්‍රිය දරුවන් නොදැක ඉන් නික්ම මල් පිපුණු වනරොදට පිවිස ඒ ඒ තැන බලන්නී මෙසේ කීවාය. පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැමතැන්හි මල් පිපී ඇති වනලැහැබ්ය. ඒ දරුදෙදෙනා නොපෙනෙති.
පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් ඒ සක්වාලිහිණියන් ළග හිද කුල්නා හෙල්මැලිවලින් ද පියුම්වලින් ද උපුල්වලින් ද ගැවසීගත් රමණීය පොකුණු ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. මෙසේ කැලෑ රොදවල් වල හඩ හඩා දරුවන් සොයන්නාවූ ඇය කිසිතැනක දරුවන් නොදැක නැවත බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් දුර්මුඛව සිට මෙසේ පැවසුවා. රජතුමනි, ඔබ විසින් දර නොබිදින ලද්දේ තොප විසින් දිය නොගෙන ලද්දේ තොප විසින් ගිනිද නොදල්වන ලද්දේ කිම නොදන්නා බාලයකු මෙන් සිතිවිලි පරවශව සිටීද? තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක්ව විදිනා දුක් මා විසින් නසනු ලැබේ. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදක්මි. ස්වාමිනි ඔබ පෙර දර කඩන්නෙහි, ජලය ගෙන තබන්නෙහි ගිනිකබලෙහි ගිනි මෙල්විය. අද එයින් එකක්වත් නොකොට සිටී. ඔබේ මේ ක්‍රියාවන් මට රුචි නොවේ. වෙස්සන්තර රජු මට ප්‍රියය. මීට වඩා මට ප්‍රියකෙනෙක් නම් නැත. මේ ප්‍රියයා සමග එක්වී පෙර දුක පහව යයි. අද වනාහි මොහු දකින්නා වූ මාගේ ශෝකය පහව නොයයි. කවර කරුණක් නිසාද? මා විසින් කරුණ දක්නා ලදී. අද ඒ අප ප්‍රිය දරුවන් නොදකිමි. රජු දකින්නාවූ නමුත් මා හට ශෝකය පහව නොයයි. ඈ විසින් මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ නිහඩව හුන්නේය.
දරුවන් නොලද සොවෙන් සිහිසන්වූ වෙසතුරු දේවිය.
ඇය ඔහු කථා නොකර සිටිනවිට ශෝකයෙන් මඩනා ලද්දේ පහරකෑ කිකිළියක් මෙන් නැවත කලින් සොයාබැලූ තැන්වලට ගොස් නැවත බලා ආපසු ඇවිත් මෙලෙස කියන්නට වුණා. දේවයිනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුහු ගෙන යන ලදහුද? නොහොත් මළාහුද? වනකවූඩෝද නොහඩති. මාගේ දරුවෝ කිසිවක් විසින් ගෙනයන ලද්දෝ වත්ද? මෙසේ කී කල්හිද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක්ම කිවේ නැහැ. ඇය දරුසොවින් දරුවන් ගැන සිතන්නී තුන්වන වරටත් ඒ ඒ තැන්වලට වාතවේගයෙන් ගියා. එක්රැයක් තුළ ඇවිද්ද තැන් ගණන් කරන්නේ නම් යොදුන් පසළොසක් පමණ කියලයි කියන්නේ. රාත්‍රිය ගතවිය. අරුණ නැගි කල්හි ඕතොමෝ නැවත ගොස් බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයේ සිට හැඩුවා. දේවයෙනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුන් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? වනකවුඩෝද නො හඩති. මාගේ දරුවෝ කිසිවෙක් විසින් ගෙනයන ලද්දේ විය යුතුයි.දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක් විසින් ඔව්හු ගෙනයන ලදහුද? නොහොත් මළාහුද? පක්ෂීහු නොහඩති. මාගේ දරුවන් මළා විය යුතුය. දේවයිනි පර්වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්වල ඇවිදින්නී අපගේ දරුවන් නොදක්මි. ඔවුන් යම්කිසිවෙක් විසින් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? මෙසේ යසස් ඇති උතුම් ශරීර ඇති අභිරූපත්වූ මදුරජ දූ දොහොත් හිස බැද හඩා වෙස්සන්තර පාද මූලයේ කපා දැමූ රන්වන් කෙසෙල් ගසක් මෙන් සිහිසුන්ව බිම පතිත වුවා.
සිහිසුන්ව වැටුන මද්‍රී බිසව මියගිය බව සිතා ශෝකයෙන් හැඬු අප මහා බෝධිසත්ත්වයාණෝ.
මද්‍රි දේවිය දරුවන් නොදැක නිසැකවම මළා විය යුතුයැයි රජු සිතුවා. බෝධිසත්ත්වයන්වහන්සේ ඇය මළායැයි සිත කම්පා වන්නේ මද්‍රි දේවිය අස්ථානයෙහි පිටරටකදී මළාය. ඉදින් ඇගේ මරණය ජයතුරා නුවරදී සිදුවූවානම් මහත් වූ පෙරහැර වන්නේය. රටවල් දෙකම කම්පා වන්නේය. මම වනාහි වනයෙහි හුදෙකලා වීමි. කුමක් කරන්නේම්දැයි හටගත් බලවත් ශෝක ඇත්තේ සිහිය පිහිටුවාගෙන පළමුව දැනගන්නෙමියි නැගිට ඇගේ හදවතට අත තබා සන්තාපයට පත්වූ බව දැනගෙන කෙණ්ඩියෙන් ජලය ගෙනවුත් සත්මසක් කාය සංසර්ගයක් නුවූ නමුත් හටගත් බලවත් ශෝකයෙන් පැවිදිබව සළකා ගන්නටද නොහැකිව කදුළු පිරි දෙනෙතින් යුතුව ඇගේ හිස ඔසවා උකුලෙහි තබාගෙන වතුර ඉස මුහුණද හදවතද පිරිමදිමින් සිටියා. මද්‍රි දේවිය ටිකවෙලාවකිනි සිහි එළවා නැගිට ලැජ්ජාභය පිහිටුවා ගෙන බෝධිසත්ත්වයන්වහන්සේ හට වැද පසෙකට වුණා. ඒ එක්කම ඇයට යලිත් මතක් වුණේ දරුවන්ව. ස්වාමීනි, ඔබගේ දරුවෝ කොහි ගියාහුදැයි නැවතත් ඇසුවා. මෙතෙක් වෙලා නිහඬව සියලු දේ වසන් කරමින් සිටි වෙසතුරු රජු සියලු තතු පවසන්නට වුණා.
දරුවන් දාස කමට දන්දුන් බව මද්‍රි බිසවට හෙළිකිරීම.
මද්‍රි දෙවියනි දරුවන් බමුණකුගේ දාස බවට දැන් දුන්නා. බිම වැටුනා වූ රජදුවගේ මුහුණ දියෙන් තෙමී ගිහින්. ඉක්බිත ඇය පියවි බවට පත්වූ සැටි දැන ඇයට මේ වචන ඔහු විසින් පවසනු ලැබුවා. හරිම පුදුමයි ඇයගේ පිළිතුර. දේවයන්වහන්ස දරුවන් බමුණාට දන් දුන් බව මුළු රැයම හඩමින් ඇවිදින මට නොකීවේ ඇයිදැයි විමසන්නට වුණේ සන්සුන් වූ මනසින්. බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ ඇයට පවසනු ලැබුවා.
” මද්‍රි දෙවියනි, මුලදීම ඔබව දුකට පත්කරන්නට නොකැමැති විමි. ඉදින් මම නුඹට කලින්ම ඒ කාරණය කියුව්වේ නම් ශෝකය දරාගත නොහැකිව හදවත පැලෙන්නේය. ඒ නිසා මද්‍රි දෙවියනි ඔබට දුකක් ඇතිකරන්නට කැමති නොවූයෙමි. දිළිදු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආවේය. ඔහුට මා විසින් දරුවෝ දෙන ලදිමි. මද්‍රි දෙවියනි බිය නොවන්න.සැනසෙන්න. මද්‍රි දේවියනි,මා බලව දරුවන් ගැන නොබලව. දැඩිකොට නොහඩන්න. ජිවත්වන්නමෝ නිරෝගීවන්නමෝ නම් දරුවන් ලබම්හ. සත්පුරුෂයා යදින්නා ආ කල්හි දැක දරුවනුත් සිව්පාවනුත් ගෙහි ඇති යම් ධනයක් ඇද්ද ඒ සියල්ල ද දන් දෙන්නේය. මද්‍රි දේවියනි දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දානය අනුමෝදන් වන්න. සත්පුරුෂයා වනාහි උතුම් කරුණක් ප්‍රර්ථනා කරමින් පපුව පළා හෘදයමාංශයද දෙන්නේය. එය විය මද්‍රි දේවයිනි, ඔබ දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙන්න. දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.” දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.
දේවියනි, සිවිරට වඩනා යම්බදු ඔබ මසුරුමලින් මැඩුනු මිනිසුන් අතුරෙහි බමුණහුට පුත්‍රදානය දුන් දූන්නාහුය. දසමසක් කුසෙහි දරාගෙන දවසට දෙතුන්වතාවක් නාවා පොවා කවා ළයෙහි හොවාගෙන පෝෂණය කළ දරුවන් බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දන් දුන්කල්හි තමන්ගේ පින අනුමෝදන් වෙමින් මෙසේ කීවාය.(මේ කරුණෙන් පියාම ස්වාමියා ලෙස දතයුතුය.)
දරුවන් දන්දුන් කුසලය අනුමෝදන් වූ මද්‍රි බිසව.
මහරජ, මත්තෙහිද නැවත නැවත දන් දෙන්නෙක් වව. යම් ඒ ඔබ මසුරුබවින් මඩින ලද සත්ත්වයන් ඇති ලෝකයේ ප්‍රිය දරුවන් දන් දුන්නේද, මා විසින් මනාකොට දෙනලද දානයෙහි සිත පහදවා ගත්තෙමි. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දෙවියනි, ඔබ මේ කුමක් කියන්නෙහිද? ඉදින් වනාහි මා විසින් දරුවන් දන් දී සිත ප්‍රසාදයට පත්නුවුයේ නම් මාගේ මේ විශ්මය වන සිද්ධීන් සිදුනොවන්නේ යැයි සියළු මහපොළොව කම්පාවීම ආදිය කීවේය. ඉක්බිත මද්‍රි දේවිය ඒ පුදුමයන් ගැන සිතා දානයේ පින අනුමෝදන් වෙමින් මෙසේ පැවසුවා.
ඔබ විසින් රජතුමනි මහපොළොව හඩවන ලදී. ඔබගේ කීර්තිඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත් පෙදෙසෙහි හාත්පස අවට හැසිරිණි. පර්වතවලින් ප්‍රතිරාවය මෙන් මහත් හඩක් නැගුණේය.
තොපගේ ඒ පුත්‍රදානය නාරදය, පර්වතය යන දෙකොටසෙහි දෙවිවරු අනුමෝදන් වෙති. ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී, සෝමදේව, යමදේව, වෙසමුණි රජ ද ඉන්ද්‍රයා ප්‍රමුඛ තව්තිසාවේ සියළු දෙවියෝද අනුමෝදන් වෙත්. ශක්‍රයා ප්‍රමුඛ තව්තිසා වැසි සියළු දෙවිවරු ඔබගේ දානය අනුමෝදන් වෙත්. හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය ,මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගින්දර තවත් වරක් සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.
මද්‍රි දෙවි කාණ්ඩය නිමි