අපේ බුදුහාමුදුරුවෝ 116.
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 11
නොදුටු හිමවත පිළිබඳව රසවත් වර්ණනාවක් කරමින් වෙසතුරු රජුට චිත්ත ධෛර්යය ලබා දුන්
මද්‍රී දේවිය වූ යසෝදරා කුමරිය.
රාජ කුමාරයෙකු ලෙස සුකුමාල ජීවිතයක් ගතකල වෙස්සන්තර කුමරුහට තමාව රුදුරු වන සිවුපාවුන්ගෙන් ගහන වනයට නෙරපූ පසු එහි දිවිය රැකගැනීමට හැකිවේ යැයි ස්ථිරසාර විශ්වාසයක් නැති බව ඔහු මද්‍රි දේවිය හා කෙරුණු දෙබසින් පැහැදිලි විය. ඒ නිසාම ඔහුගේ ඉල්ලීම වුණේ තම ආදරණිය බිරිඳට වෙන විවාහයක් කරගැනීමට හා තමා ගැන සිහිකරමින් දුක් වෙවි කෘෂ නොවෙන ලෙසය. එහෙත් ඔහුගේ පිනටම හිමි වූ ඒ සංසාරගත බෝසත් බිරිඳට එම අභියෝගය අභියෝගයක් වුණේ නැහැ. ඇය හිමාල වනයේ රුදුරු ස්වභාවය මකා ඒ වෙනුවට එහි සොඳුරු මනරම් ස්වභාව සෞන්දර්ය ඇසින් දුටු තැනැත්තියක් මෙන් විස්තර කරමින් ඔහුව තව තවත් බුද්ධත්වය වෙත ලංකරනු ලැබුවේ මහා වීර කාන්තාවක් ලෙසින්.
ඇය තව දුරටත් මෙලෙස පවසන්න වුණා.
අප ඔබ තනිකරන්නේ නැහැ කොහොමටවත්. මමත් පුතත් දියණියත් ඔබ යන තැනකට ඔබ හා සමග එනවා. අපි ඒ හිමාලවනේ ලස්සන අසපුවක් තනාගමු. එවිට මිහිරි බස් ඇති ප්‍රියවදන් ඇති මේ කුඩා කුමරාත් කුමරියත් සිත්කලු අසපුවෙහි සෙල්ලම් කරන හැටි ඔබ දකිනා විට රාජ්‍ය සිහි වී දුක හිතෙන එකක් නැහැ.
රමණීය අසපුවෙහි මල්මාලා දරන අලංකෘත වූ මේ කුමර කුමරියන් දකින ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
ඒ රමණීය අසපුවෙහි සෙල්ලම් කරන මල්මාලා දරන අලංකෘත වූ මේ කුමරාත් කුමරියත් නිසා ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
රමණීය අසපුවෙහි මල්මාලා දරමින් නටන මේ කුඩා කුමරුන් යම්කලෙක දක්නෙහිද එවිට ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
උදේ සවස හැසිරෙන සැටවස් පිරුණු මාතාංග නම් ඇතු යම් කලෙක දක්නෙහිද, එකලත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
යම්කලෙක ඇතිනි රැළෙහිද ඇත්රැළෙහිද පෙරටුව යන පිරුණු සැටවස් ඇති මාතංග නම් ඇතා කුඤ්චනාද කරන්නේ ද නාදකරන ඔහුගේ ඒ නාදය අසා ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
වනමෘගයන් ගැවසුණු කැමති සම්පත් දෙන දෙපස වනයෙහි වන ගළ යම්කලෙක දක්නෙහිද එකල්හි ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
සවස්,වේලෙහි පැමිණෙන අංදළු පහක් ඇති මුවා ද ගංතෙරෙහි නටන කිදුරඳ දකිනා ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
බැස යන දියෙහි ඝෝෂාවද කිදුරන්ගේ ගී හඩද යම්කලෙක අසන්නෙහිද එවිට ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
පර්වත ගුහාවල හැසිරෙන හඩන බකමුණන්ගේ නාදය යම්කලෙක අසන්නෙහිද එකල ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
වනයෙහි සිංහ ,ව්‍යඝ්‍ර ,කඟවේණ, ගවර යන සතුන් දැකීමෙන්ද ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
පර්වත මුදුන්හි සිටින පිල්කළඹින් ගැවසුණු මොනර සෙබඩුන් පිරිවරා නටන මොණරුන් යම්කලෙක දක්නෙහිද එකල්හි ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
සෙබඩුන් පිරිවැරූ නිල්ගෙල ඇති හිස සිළු ඇති නටන මොනර කැල යම්කලෙක දක්නෙහිද එවිටත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
හේමන්ත මාසයෙහි රතිඳුගොවුවන් ගැවසුණු නිල්පැහ යුත් පොළොව යම්කලෙක දකින්නෙහිද ඒවටත් ඔබට රාජ්‍යය සිහි නොවේවි.
හේමන්ත ඍතුවෙහි පිපෙණ මලින් යුතු සුවදහමන ගස් යම්කලෙක දක්නෙහිද එකල්හි ද ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
හේමන්ත ඝෘතුවෙහි පිපුණු කෙළිදගස් හා රත්කරවූ ගස්ද ලොත්ගස් හා පියුම්ගස් ද යන මේ සුවදහමන ගස් යම්කලෙක දක්නෙහිද එකල්හිත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
හේමන්ත ඍතුවෙහි මල් වැටුණු වනයද පොකුණු දිය පිරුණු නෙළුම් මල් ද යම්කලෙක දක්නෙහිද එවිටත් ඔබට රාජ්‍යය සිහිවෙන එකක් නැහැ.
මෙසේ මද්‍රිදේවිය හිමවත වාසය කරන්නියක් මෙන් මෙපමණක් ගාථාවලින් හිමවත වර්ණනා කරන්නට වුණා.
සත්‍ය වශයෙන්ම ඒ වර්ණනාව ඇසු විට කුමාරාගේ හිතේ තිබු චකිතය යම් පමණකට හෝ වෙනස් වෙන්නට ඇති. එහෙත් ඔහුගේ සිත ඒ ගමන සඳහා තම පවුලේ සාමාජිකයන්වත් එකතුකර ගැනීම කොහෙත්ම අනුමත කෙරුවේ නැහැ.
හිමාලය වර්ණනාව නිමියේය.