අපේ බුදුහාමුදුරුවෝ 112

 

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 07

කලිඟු රටේ දුර්භික්‍ෂය

මෙලෙස සෙමින් සෙමින් කාලය ගතවුණා. මහාසත්ත්වයෝ එක්මසකට සයවාරයක් අලංකාර කළ පච්චය ඇතා පිට නැගී රාජධානිය පුරා පිහිටවනු ලැබූ දානශාලා හය බලන්නට යාම පුරුද්දක් කරගත්තා. ඒ කාලේම ඊට අසළ පිහිටා තිබූ කලිගුරටෙහි නියගයක් ඇතිවුණා. ගංගා ඇළදොළ සිඳී භවබෝග ඇතුළු ශස්‍යන්ගෙන් පිරිහී මහත් දුර්භික්ෂයක් රට තුල පැන නැග්ගා. මිනිස්සු ජීවත්වීමට නොහැකිව සොරකම් කරන්නට පටන්ගත්තා. දුර්භික්ෂයෙන් පීඩාවට පත්වූ ජනපදිකයෝ රාජාංගනයේ රැස්වී අහසටත් පොළවටත් රජතුමාටත් රාජ්‍යය පාලනයටත් දෝෂාරෝපණය කරන්ට වුණා. ඒ අසා රජතුමා “කිම,දරුවෙනියි” කියා අසුකල්හි ඒ බව ජනතාව දන්වා සිටියා පමණක් නොව අසල රාජ්‍යයේ වෙස්සන්තර රජ දැහැමින් සිල්වත්ව රට පාලනය කරනා අයුරුත් දන්වා සිටියා. ඒ ඇසු රජ “දරුවෙනි, යහපති, මම වැසි වස්සන්නේමියි” කියා ඔවුන් පිටත්කර යවා සමාදන් වූ සිල් ඇතිව උපෝසථය සමාදන් වී වැසි වස්වන්නට බොහෝ උත්සාහ කලත් වැසිවස්සනට අපොහොසත් වුණා. ඔහු යලිත් නුවරවැසියන් කැදවා “මම සමාදන් වූ සිල් ඇත්තෙමි, දවස් හතක්ම ගත්කළ නමුත් වැසි වස්සන්නට නොහැකි වුයෙමි.” දැන් ඉතින් කුමක් කළයුතුදැයි විචාරන්නට වුණා. එවිට රජුගේ උපදේශකයන් ” දේවයන් වහන්ස වැසි වැස්සවිය හැකි උපක්‍රමයක් තිබෙනවා. අප අසල පිහිටිරාජධානියට අයත් වෙළද නගරයේ සංජය රාජපුත්‍රයා වූ වෙස්සන්තර රජතුමා සියලු දේ දන්දෙන්නටම ඉපදුන කෙනෙක්. ඒ නිසාම ඔහුට දෙවුලොවින් ලැබුන සම්පුර්ණයෙන් ශ්වේතවර්ණ වු මංගල හස්තිරාජයෙක් සිටිනවා. ඒ ඇතා මහා බලවත්. ඒ ඇත් රාජයා ඉන්නා රාජ්‍ය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. නිසි කලට වැසි ලැබෙනවා. ගිය ගිය තැන වර්ෂාව වසිනවා. එමනිසා ‍බ්‍රාහ්මණයන් යවා ඒ ඇතාව ඉල්වාගෙන එන්නයි ඇවිටිලි කරන්නට වුණා. රජතුමා යහපතැයි පිළිගෙන බ්‍රාහ්මණයන් රැස්කරවා ඔවුන අතුරෙන් අටදෙනෙක් තෝරගෙන ඔවුන්ට වියදම් දී, ඒ වෙස්සන්තර රජුගෙන් හස්තියා ඉල්වාගෙන එන්නැයි අණ කරනු ලැබුවා.

වෙස්සන්තර රජු ඇතා දන්දීම.

රාජ අණ පිළිපදිමින් ඒ බ්‍රාහ්මණයන් අනුපිළිවෙලින් වෙළද නගරයට ගොස් දන්ශාලාවේ ආහාර වළදා තමන්ගේ ශරීරය දූවිලි තැවරුණු කිලිටි වැකුණු දෑත එකක්කොට පසළොස්වක දිනයේ රජුගෙන් ඇතා ඉල්වනු කැමතිව රජු දන්ශාලාවට එනතෙක් පෙරදිග දොරටුවට අසළ රැඳී සිටියා. එදින රජුද “දන්හල දකිනු කැමැත්තෙමියි” උදෑසනම සුවදපැන් සොළොස් කළයක් නා අනුභවකොට සැරසී අලංකාර කළ ඇතාපිට නැගී පෙරදිග දොරටුව වෙත පැමිණියා. මහජනයා පොරකමින් ඒ අවට සිටි නිසා එම මාර්ගය අසල සිටි බ්‍රාහ්මණයන් තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබී ගියා. ඉන්පසුව දකුණු දොරටුව වෙත ගොස් උස්තැනක සිට රජුගේ පැදුම් දොරටුවේ දානය බලා දකුණු දොරටුව වෙත එනකල්හි අත් දිගහැර “වෙස්සන්තර පින්වතාණෙනි! ජයවේවා” යි කෑ ගසනු ලැබුවා.

එවිට අප මහා බෝසතාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන් දෙස බලා ඇතාව ඔවුන් සිටි තැනට යවා ඇතාපිට සිටම පළමු ගාථාව කීය.

දිග්වූ කිහිලි ලොම්, නිය, සිරුරේ ලොම් ඇති, කිළිටි දත් ඇති ධුලි වැකුණු කෙහෙඇති බමුණෝ දකුණත නගා මා අතින් කුමක් ඉල්වත් ද?

එය අසා බ්‍රාහ්මණයෝ මෙසේ පවසන්නට වුණා.

සිවිරට වඩන රජතුමනි, රුවනක් ඉල්වම්හ, කවර රුවනක් ද? රියහිස් බදු දළ ඇති බර උසුලනු සමත් උතුම් ඇත්රුවන දුන මැනවි.

එය අසා රජතුමා මෙසේ සිතිවිලි පහල කළා.

මම ඇස් හිස් මස් ලේ ආදීකොට ඇති අභ්‍යන්තර  වස්තූන් දානයක් ලෙස දෙනු කැමැත්තෙන් සිටියත් මොවුන් ඉල්ලන්නේම බාහිර දේමයි. මොවුන් බාහිර දෙයක්ම ඉල්ලන නිසා මේ අවස්ථාවේ මොවුන්ගේ මනදොළ පුරවන්නේමියි යයි සිතා ඇතාගේ පිට මතට නැග මෙලෙස සිතන්නට වුණා.

“බමුණො මා අතින් යමක් ඉල්වත්ද එය දෙමි. කම්පිත නොවෙමි. මා වෙත ඇති වස්තු නොසඟවමි. මගේ සිත දන් දීමෙහිම ඇලෙයි. යාචකයෙකු පැමිණි කල ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවේ. ගිලියෙන මද ඇති මනා දළ ඇති රාජවාහනය වූ උතුම් අත්රජුහු දන්දෙමි. අකම්පිත එලෙස පිළිගෙන, සිවිරට වඩන වෙසතුරු මහරජ, ත්‍යාගයෙහි  පිහිටි සිත් ඇතිව ඇත් කදින් බිමට බසිනු ලැබුවා.

බලන්න දානයෙහි ඇලුණු උත්තම පුරුෂයන්ගේ තරම. එතරම් වටිනා වස්තුවක් හිඟන්නන් ලෙස පැමිණි ඒ බ්‍රාහ්මණයන්ට  නිකම්ම දෙන්න සැලසුනේ නැහැ. ඔහු කලේ ප්‍රථමයෙන්ම  ඇතා මතින් බිමට බැස ඔහු වටා ගමන් කිරීමයි. එලෙස ගමන්කරමින් ඇතාගේ යම් නොසැරසු තැනක් ඇද්දැයි සුපරීක්ෂාකාරීව බලන්නට වුණා. එහෙත් කිසිම එවැනි තැනක් නොලැබූ නිසා මල් මිහිර සුවඳ දිය පිරි රන් කෙණ්ඩියක් රැගෙන “පින්වත්නි මෙහි එවූ” යැයි පවසා අලංකාර කරන ලද රිදී දමක් වැනි ඇත් සොඬ ඔවුන්ගේ අතෙහි තබා දිය වත්කොට අලංකාර කළ ඇතා දන් දෙනු ලැබුවා.

මහපොළව දෙවැනි වරටත් කම්පාවීම.

ඒ නිකම්ම නෙවෙයි ඔහුව සරසා තිබු ලක්ෂ විසිහතරක් වූ ආභරණද සමගින්

  1. සේසතෙහි මත්තෙහි වූ මාණික්‍යය,
  2. සිළුමිණ ද
  3. මුතුහර ද
  4. මිණි අංකුසය ද, (මැණික් හෙන්ඩුව)
  5. ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහර ද
  6. අත්කුඹෙහි මාණික්‍ය ද යන වටිනා වස්තු හයද ඒ සමගින් ඇතාද ඇතුළු අනර්ඝ වස්තු හතක් ඒ මොහොතේම දන් දෙනු ලැබුවා. ඒ සියලුම වස්තු මිළ කල හැකි වුවත් ඒ රදළ හස්ති රාජයාව කෙලස නම් මිල කරන්නද. එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් හා ඇත්ගොව්වන් ද සමග ඉහත දක්වන ආකාරයට බ්‍රාහ්මණයන්ට ලබා දුන්නා. ඔබ හිතන්නේ ස්වභාව ධර්මයෙන් ත්‍යාග කරනු ලැබූ වස්තුවක් දන් දෙන කල ස්වභාව ධර්මය කම්පා නොවී තිබෙයිද? නැහැමයි. මෙවැනි අත්හැරීමක් කරන කල්හි ස්වභාධර්මයත් කම්පා වුණා.

ඒ කාරණය දේශනාකරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරන්නට වුණා. ඒ උතුම් ඇත්රජු දුන්කල්හි මහපොළොව කම්පා විය. එකල්හි යම් බිහිසුණු බවක් වීද එසද ලොමුදැහැගැන්ම විය. ඇත්රජු දුන්කල්හි මුළු නුවරම කැළඹිණ. එදා යම් හිංසනයක් විද ඒසද ලොමුදැහැ ගැන්ම විය. සිවිරටවඩන ඇත්රජු දුන්කල්හි නුවර අවුල් විය. මහත් ඝෝෂාවක් ද විය.