අපේ බුදුහාමුදුරුවෝ 108
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 03
සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෘන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි”ප්‍රාර්ථනා කල කුමරිය ගැන මිට ඉහත ලිපියේ කිවා. ඒ සදුන් කුඩු පුජාවේ විපාක වශයෙන් රන් හදුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නී තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී ඉපදී බොහෝ කල් එහි දිව්‍යමය සම්පත් වින්දා. ඒත් දිව්‍ය තලයේත් පැවැත්ම සදාකාලික නැහැ. පින් ක්ෂය වුනහම එයිනුත් නික්මෙන්නට ඕනේ. ඒ ධර්මතාවයට අනුවම ඇයගේත් ආයු කෙළවරවීමේ පෙරනිමිති පහළ වුණා. එය දුටු සක් දෙව් රජ ඇයව මහත් හරසරින් නන්දන උයන වෙත කැඳවාගෙන පැමිණියා. එහි විශේෂ අලංකෘත සයනක් මත ඇයව සැතපු සක්දෙවිදුන් ඇය අසලින් ඉඳගත්තා. එලෙස එය අසලින් හිද ඇයට අනුකමපා පිණිස මෙලෙස කිවා.
“සොඳුරිය ඵුසතිය, ඔබහට දැන් සදෙවූ ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇත. මම නුබට වර දහයක් දෙමි. ඒවා ගන්න ” මහ පොළව මත යමක් ඔබ සිතට ප්‍රිය වේද එය ගන්න. .
ඒවිට ඒ දෙවුලියට එතුමියගේ ආයුෂය ක්ෂය වී ඇති බව එක්වරම වැටහුනේ නැහැ. එය සක්දෙවිදුගේ ඒ වදනෙන් කම්පනයටත් ශෝකයටත් පත්වුණා. ඇය මෙලෙස බැගෑපත් වන්නට වුණා.
“සක්දෙව් රජුනි, ඔබට නමස්කාර වේවා! කිම මා කුමන වරදක් කර ඇත්තේද? කුමන කරුණකින් මම නුබ වහන්සේට අප්‍රිය වෙම්ද? මනරම්ව වැඩුණු ගසක් බිම හෙලන්නාක් වූ මාරුතයක් මෙන් කුමක් හෙයින් සිත්කලු වූ තැනින් මා පහ කරන්නේද?
මොහොතෙන් මොහොත ඇයගේ චුතවිමේ කාලය ලගා වෙමින් තිබුණා. එය ශක්‍ර දිව්‍ය රාජයාහටවත් වෙනස් කරන්න නොහැකි වුණා. ඇයට ද තමා ගත යුතු අවසන් කැමැත්ත නොහොත් වරය ගැන අවධානයක් තිබුණේ නැහැ. ඒ නිසාම සක්දෙවිඳු මහත් කරුණාවෙන් නැවත නැවතත් ඇයට මතක් කරන්නට් වුණා.
“ඔබ විසින් වරදක් නොකරන ලද්දේමය. ඔබ මට අප්‍රිය ද නොවෙයි. එහෙත් ඔබගේ ආයුෂ කෙලවර වී ඇත. ඒ නිසා මෙම වර දහය ගන්න. “
එවිට මෙහෙසිය තමාගේ ආයු කෙලවර වී ඇති බව දැන සක්දෙව් රජ විසින් වර ලබාගනු සදහා කරන ලද අවකාශ ඇතිව සියලු දඹදිව්තලය දෙස උපතක් සඳහා බලන්නට වුණා. එවිට තමාට සුදුසු සිවිරජුගේ නිවෙස්න දැක මෙලෙස වර දහයක් සක්දෙවිදුගෙන් ඉල්ලා සිටියා.
වෙස්සන්තර රජුගේ මව සක්දෙවිදුගෙන් ලැබූ වර දහය !
- සිවිරජුගේ භවනෙහි අගමෙහෙසිය වේවා,
- නිල්වන් ඇස් ඇති වේවා,
- නිල්වන් බැම ඇති වේවා,
- එහිදී ඵුසති යන නමින් යුක්ත වේවා,
- කැමති සම්පත් දන්දෙන, කැමති දේ ඉල්ලන්නට සුදුසු, කිර්ති ඇති, පිරිවර ඇති, ගුණ විශේෂයන් යුත් යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා
- ගැබ් දරණ මගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක් සෙයින් උස් නොවූ මැද පෙදෙස වේවා,
- සක්දෙවූ රජුනි, මගේ පියවුරු පහතට කඩා නොවැටේවා,
- කිසිකළෙක සුදුකෙස් ඇති නොවේවා,
- සියුම් සමක් ඇති වේවා,,
- වදයට පැමිණි ජනයන් එයින් මුදවන්නට හැකි වේවා ,යන මේ වර දහය ලබා ගනු ලැබුවා.
මෙසේ ඈ වරයන් ගෙන දෙවුලොවින් චුතව මදුරජුගේ අගමෙහෙසිය කුස උපන්නා. ඇය උපදින විට සදුන්සුනු තවරන ලද්දක් බදු සුන්දර වතක් ඇතිව සිටි හෙයින් ඇයට නම් තබන දිනයෙහි “ඵුසති” යයි නම් කරනු ලැබුවා. ඈ මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි කළ උතුම් රූප ඇත්තියක් වුණා. ඉන්පසු ඇය ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුගේ පුතා වූ සංජය කුමාරයා සදහා කැදවා සේසත් නන්වා ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඒ වගේම ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාප ස්ත්‍රියද වුණා. මේ වෙන කවුරුත් නෙවෙයි. අප මහා බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ වූ මහාමායා දේවියගේ එක් ආත්මභාවයක්.