අපේ බුදුහාමුදුරුවෝ 103
සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය!
අවසන් නියත විවිරණය ලබාදුන්
කස්සප බුදුහාමුදුරුවෝ 06
අප මහා බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජුන් වෙත පැමිණවූ ඝටීකාර කල්‍යාණ මිතුරා ඔහුගෙන් සමුගත්තා. ඝටීකාර මිතුරාගේ කතාව එතනින් නිමා වුණේ නැහැ. එය ඉතාම ලස්සන් දීර්ග කතාන්දරයක්. ඔහු ඒ ජිවිතයෙන් සමුගත්තේ අනාගාමී ඵලයේ සිටයි. එනිසාම එතුමා අදටත් බ්‍රහ්ම ලෝකය තුල බුදුසසුන අරක්ෂා කරමින් වැඩසිටිනවා. උන්වහන්සේගේ සහ අප බුදුරජාණන් වහන්සේගේ යලි හමුවීම ඉදිරියේදී ඔබහට මේ කතා පෙළ තුලින්ම කියවන්නට ලැබේවි.
මහණ වූ දිනයේ සිට පටන්ගන්නා ලද විර්‍ය්‍ය ඇතිව, වතාවත්හි දක්‍ෂව, සීල සමාධි ආදී කිසි තැනක නොපිරිහෙමින් අප මහා බෝසතාණන් වහන්සේ කස්සප බුදුසසුනේ මහණ දම් පුරන්නට වුණා. යම් පමණ බුදුවදන් වීද, නවඟ සසුනක් වීද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හොබවන්නට වුණා. කාශ්‍යප බුදුපියාණන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේගේ මනා වත් පිළිවෙත් දැක, ’’මේ ජෝතිපාල තෙම මේ භද්‍රකල්පයෙහි බුදුවන්නේය’’ යි අවසන් විවරණය ලබා දෙනු ලැබුවා. පෙර පරිදිම නැවතත් දෙවියන්ගේ ඔල්වරසන් හඬ අත්පොළසන් හඩ වගේම සාදුකාර හඬත් සක්වලින් සක්වලට පැතිර ගියා.
කස්සප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.
මෙසේ මම නොකටයුතු දේ දුරු කරමින් සසරෙහි හැසිරීමි. සම්බෝධිය පිණිස මා විසින් දුෂ්කර ක්‍රියාද කරණ ලදී.
(කසුප් බුදුරදුන්ගේ) උපන් නුවර ’’බාරාණසී’’ නම් වී. (එහි) ’’කිකී’’ නම් රජකේ වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා කුලය (මහත් නෑ සමූහය) වාසය කළේය.
මහර්ෂීවූ කසුප් බුදුරජුන්ගේ පිය තෙම පසිඳු බඹදත් බමුණු නම් වී. වැදූ මව් ධනවතී නම් බැමිණිය වූවාය.
ඒ බුදුරජතෙම අවුරුදු දෙදහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසීය. ’’හංස’’ ය, ’’යස’’ ය, ’’සිරිනන්‍ද’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. පසිඳු බිරින්ද ’’සුනන්‍දා’’ නම් වූවාය. පුත් තෙම ’’විජිතසේන’’ නම් වී.
පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, පහයෙන් මහබිනික්මන් කළේය. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කළේය.
මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කසුප් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ කසුප් බුදුරජුන්ට ’’තිස්ස’’ ද, ’’භාරද්වාජ’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සබ්බ චිත්ත’’ නම් වී.
’’අනුලා’’ ද, ’’උරුවෙලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’නුගරුක’’ යයි කියනු ලැබේ.
’’සුමඞ්ගල’’ ද, ’’ඝටීකාර’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විජිතසේනා’’ ද, ’’භද්‍ර’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ බුදුරජතෙම උසින් විසි රියනක් උස්විය. අහසෙහි විදුලියක් මෙන්ද, තරුවලින් පිරුණු සඳ මෙන්ද බැබලී.
මහර්ෂීවූ උන්වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.
දහම් නමැති විලක් මවා, සිව් පිරිසිදු සිල් නමැති විලවුන්දී, හිරි ඔතප් නමැති පිළි සඟලක් හැඳ, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නැමැති මල් දමක් ගොතා (හෙවත් කොට)
“නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දෙසන ලද (දහම් නමැති) පළඳනාව බලත්වා”යි නිමල් (නොකිලිටු) දහම් නමැති කැඩපතක් මහජනයා වෙත තබා,
පන්සිල්, දසසිල්, සිව් පිරිසිදු සිල් නමැති සැට්ටයක් දී, (සිවු – පස් භෙද ඇති) ධ්‍යානයකද බඳින ලද්දේ, දහම් සම් පොරවා, උතුම් වීර්‍ය්‍ය දළ සතර බැඳුම් සැට්ටය දී,
සිහිය නමැති පලිහයක්ද, විදසුන් නැණ නැමැති හෙල්ලක්ද දී, ලොව්තුරු සීලයට සතුරු කෙලෙස් සියල්ල මඩනා නැණ නැමැති උතුම් කඩුවක්ද දී,
ත්‍රිවිද්‍යා නැමැති පළඳනාවක්ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක්ද, ෂඩ් අභිඥා නැමැති අලංකාර කරන අබරණද, නව ලොව්තුරු දහම් නැමැති පළඳන මල් දමක්ද දී,
අකුසල් නැමැති අව්ව වැලැක්වීම් කරණ සදහම් නැමැති සේසතක්ද දී, ’’අභයපුර’’ යයි කියන ලද නිවනට පමුණුවන (අරි අටඟි මග නැමැති) මල් අතුළ මගක් ඇතිකොට ඒ (කසුප්) බුදුරදතෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.
අපමණ ගුණ ඇති, සතුරන් විසින් නොළංවිය හැකි, ඒ සම්බුදුරදහුද, යහපත්ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දහම් රුවනද,
උතුම්වූ සුපිළිපන් ඒ සඟ රුවනද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
ශාස්තෘවූ මහ කසුප් ජිනරාජ තෙම ’’ස්වෙතව්‍ය’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය කාශ්‍යප භාග්‍යවත්හුගේ වංශය නම් (සෑය) යොදුනක් උසට (ගොඩ) නගන ලද්දේය.