ඕ තොමෝ බණ අසා භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට, මන වඩන භික්‍ෂූන් ද වැඳ විහාරයෙන් නික්ම මදක් දුර ගොස් ‘දාසිය ආභරණ පළඳින්නෙම්, එම ආභරණ ගෙනෙව’යි කීවාය. ඒ දාසිය එය පොදියක් කොට බැඳ විහාරයෙහි තබා ඒ ඒ තැන්වල ඇවිද ආපසු යන කල්හි එය (මහලිය පළඳනාව) විහාරයේ අමතකව දමා ගිය බැවින්, උත්තමාවියනි, මට එය අමතකව විහාරයේ ආවෙමි. මා දුවගොස් ගෙන එන තෙක් නවතිනු මැනවිය කීවාය. එසේ කියා නවත්වාලනු කැමති වූවාය. විශාඛා තොමෝ දාසියෙනි, එයම විහාරයේ අමතකව ආයේ නම් එය විහාරයේම ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන්නෙමියි විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ හමුවී තම අදහස පැවසුවාය. ස්වාමීනි, මෙය විකුණා විහාරයක් තනවන්නෙම් අනුකම්පා කොට පිළිගනු මැනැවියි ඉල්ලා සිටියාය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
විශාඛාවෝ ඒ පළඳනාව සඳහා නවකෝටි එක් ලක්‍ෂයක් වැයකොට මුගලන් තෙරුන් වහන්සේ මගින් කර්මාන්ත පාලකයකු මෙහෙයවා ඔහු ලවා මනාව බෙදන ලද බිත්ති, කණු, දෙපස සමවන සේ යොදා නොනැස් නම් යට ලී, පරාල, යොදා කර්ණිකාව සහිත මුදුනක් ඇතිවැ දොර කවුළු තරප්පු පේළි ආදියෙන් සමන්විතවැ මනහර ලෙස කාමර බෙදා රමණීය වූ දැව කර්මාන්ත මනාව නිමකොට, සුදුහුණු පිරියම්කොට, ශෝභන ලෙස කරන ලතා ලතා කර්ම මාලා කර්මයන්ගෙන් සරසා, සිනිඳු ලෙස මැණික්මය ලෑලි වැනි ප්‍රවර බිමට අල්ලා, දෙව් විමනක් වැනි බිම් මහළෙහි පන්සියයක් කාමර ඇතිව, උඩුමහලේ හිස පන්සියයක් කාමර ඇතිව, කාමර දහසකින් යුත් ආවාසයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. භික්‍ෂු සංඝයාගේ වාසය සඳහා සුදුසු මහත් ප්‍රාසාදයක් ද කරවා එයට පිරිවර ප්‍රාසාද දාහක් කරවා, අමතරව කුටි සක්මන්මළු, මණ්ඩප ආදියද කරවා නව මාසයකින් විහාර කර්මාන්තය නිමා කරවීය. එසේ නිමා කරවා විහාර පූජාව කරවා තම සහායිකාවන් සමග විහාරයේ උඩු මහලට නැග එහි ඓශ්වර්යය දැක හටගත් සොම්නසින් සහායිකාවන් කැඳවා ‘මෙබඳු ප්‍රාසාදයක් කරවන්නා වූ මා විසින් යම් පිනක් ලබන ලද්දේ නම් ඒ පින ඔබලා අනුමෝදන් වන්න. ඔබලාට ප්‍රාප්ති දානය ලබාදෙන්නෙමි’යි කීවාය. ප්‍රසන්න වූ සිත් ඇති සියල්ලෝම අනේ සාධු අනේ සාධු යි කියා අනුමෝදන් වූහ.
එහි එක්තරා ස්ත්‍රී උපාසිකාවක් ඒ ප්‍රාප්ති දානය විශේෂ වශයෙන් මෙනෙහි කළාය. ඕ තොමෝ නොබෝ කලකින් කළුරිය කොට තව්තිසාවෙහි උපන්නාය. ඇගේ පුණ්‍යානුභාවයෙන් බොහෝ වූ කුටාගාර, උයන්වතු, පොකුණු ආදියෙන් යුතු සොළොස් යොදුන් දිග පළල ඇති උස ඇති යොදුන් සියයක් පැතිරෙන තමන්ගේ ප්‍රභාවයෙන් යුත් අහසෙහි හැසිරෙන මහත් වූ විමානයක් පහළ විය. ඇය යන්නේ නම් අප්සරාවන් දහසක් පිරිවරාගෙන විමානයත් සමගම යන්නීය. ඒ විශාඛා මහෝපාසිකා තොමෝ නිර්මාණරතී දෙව්ලොව ඉපිද සුනිර්මිත දිව්‍යරාජයන්ගේ අගමෙහෙසිය බවට පත්වූවාය. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවේ යෙදෙන්නේ විශාඛාවගේ සහායිකාව තව්තිසාවේ දී සමුවී ගාථා මගින් ඇගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීය.

දේවතාවිය, යම්බඳු වූ ඔබ මෙහි සිටින්නෙහිද? ඒ ඔබ මනස්කාන්ත වර්ණයෙන් යුතුව, සියළු දිශාවන් බබුළුවමින් ඕසධී නම් තාරකාව මෙන් සිටියේය.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම කන්කළු වූ මනරම් වූ දිව්‍ය ශබ්දයෝ නික්මෙති.
නැටුමෙහි යෙදෙන්නා වූ ඒ ඔබගේ අංගෝපාංගයන්ගෙන් හැම අයුරින්ම මනා සුවඳ ඇති මනරම් වූ දිව්‍යමය වූ සුවඳ වහනය වන්නෝය. කයෙන් ගිලිහෙන්නා වූ ඔබගේ යම් ශීර්ෂ පළඳනාවක් වේද, ඒවායේ ඝෝෂාව පංචාංගික තූර්ය නාද ඝෝෂා මෙන් ඇසේ.

ඔබගේ ශීර්ෂාභරණයෝ වාතයෙන් සෙලවේද, වාතයෙන් දැඩිව කම්පනය වෙත්ද, ඒවායේ ඝෝෂාව පංචාංග තූර්ය ඝෝෂා මෙන් ඇසේ.
ඔබේ හිසෙහි මනා සුවඳැති මනරම් වූ යම්බඳු මල්මාලා පවතීද ඒවා මංජුසා නම් දිව්‍ය වෘක්‍ෂය මෙන් සියලු දිශාවන් සුවඳවත් කරයි.
දේවතාවිය, අන් අයට ඒ පිරිසිදු සුවඳ ආඝ්‍රාණය කරවන්නෙහිය. මෙය කවරනම් කුසල කර්මයක විපාකයක්ද යන බව මම ප්‍රශ්න කරමි. එහි විස්තර මා හට කියන්න.
තෙරණුවෝ මෙසේ ප්‍රශ්න කළවිට ඒ දෙව්දුව මෙසේ පිළිතුරු දුන්නීය.
අනුරුද්ධ හිමියනි, සැවැත්නුවර මගේ සහායිකාව විශාඛාව සංඝයා සඳහා මහා විහාරයක් කරවීය. මා හටද ප්‍රිය වූ ඒ මන්දිරය දැක එහි පැහැදී එහි පින් අනුමෝදන් වීමි.
මාගේ ඒ හුදු පුණ්‍යානුමෝදනාවෙන් පමණක්ම ලබාගන්නා ලද අද්භූත වූ දර්ශනීය වූ විමානය මගේ සෘද්ධි බලයෙන් හාත්පසින් සොළොස් යොදුනක් අහසේ ගමන් කරයි.
ප්‍රමාණානුකුල වූ කොටස් වශයෙන් බෙදන ලද්දා වූ මාගේ කුටාගාර නිවාසයන් හාත්පසින් යොදුන් සියයක් දීප්තිමත්ව බබළයි.
මත්ස්‍යයන්ගෙන් ගැවසී ගත් රන්වැල් පිරී පවත්නා මෙහි ඇති මගේ පොකුණු ද, පැහැදිලි ලෙස ප්‍රසන්නව පවතී.
එහි නොයෙක් රත් නෙළුම් මල්, සුදු නෙළුම් මල් පිපී විසිරී ඇත්තාහ. සිත්කලු වූ වාතයෙන් කම්පිත වූ සුවඳ හමා ගෙන යයි.
දඹ, කොස්, තල්, පොල් ආදී නානා වෘක්‍ෂ වර්ග සහිත උයන්වතු නිවාස සීමාව තුළම රෝපිත වී ඇත.
නොයෙක් තූර්ය භාණ්ඩයන්ගෙන් ඝෝෂා සහිත වූ, අප්සරාවන් සමූහයා විසින් ඝෝෂා කරන ලද්දා වූ විමානයෙහි වෙසෙන මා යමෙක් සිහිනෙන් හෝ දකින්නේ ද, ඒ තැනැත්තා පවා සතුටට පත්වන්නේය. හෙවත් සම්පත්ලාභියෙක් වන්නේ ය.