යමස්ස රඤ්ඤො :-
යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්.
මේ දේවදූතානුයෝගය කවරෙක් ලබා ද කවරෙක් නොලබා ද යමෙක් බොහෝ පාපයන් කරන ලද ද හෙතෙම ගොස් නරකයෙහි උපදියි. යමෙක් පාපයන් ටිකක් කරන ලද්දේ ද හෙතෙම ලබයි. යම් සේ බඩු සහිත සොරා ගෙන කළ යුත්ත ම කරත්. හෙතෙම විනිශ්චය ලබයි. මෙසේ මේ උපමාවයි. ඉතිරි කර්මය තමන්ගේ ස්වභාවයෙන් ම සිහි කරත්. සිහි කරවන්නාහු ද සිහි කරත්.
එහි දී දීඝ ජයන්ත දෙමළ තෙමේ තමාගේ ස්වභාවයෙන් ම සිහි කළේය. ඒ දෙමළ තෙමේ සුමනගිරි වෙහෙර අහස් චෛත්‍යය රතු වස්ත්‍රයෙන් පිදීය. එකල නරකයෙහි උස්සදයට සමීපයෙහි උපන්නේ ගිනි දැල්වල ශබ්දය අසා තමා පුදන ලද වස්ත්‍රය සිහි කළේය. ඔහු ගොස් ස්වර්ගයෙහි උපන්නේය. තවත් අයෙක් ද තරුණ භික්‍ෂුවකට බලි වස්ත්‍රයක් දෙන්නේ පාමුල තැබීය. තබන කාලයෙහි ම නිමිත්ත ගත්තේය. ඒ තෙමේ ද උස්සද සමීපයෙහි උපන්නේ ගිනිදැල් ශබ්දයෙන් ඒ සළුව සිහිකොට ස්වර්ගයෙහි උපන්නේය.
තමන්ගේ ස්වභාවයෙන් සිහි නොවන විට දේවදූත පස්දෙනාගෙන් විචාරයි. එහි කිසිවෙක් පළමු දේවදූතයාගෙන් සිහි කරයි. කිසිවෙක් දෙවන දේවදූතයා ආදීන්ගෙන් සිහි කරයි. යමෙක් පස් දෙනාගෙනුත් සිහි නො කරයි නම් යමරජු විසින් තෙමේම සිහි කරයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියකින් මහසෑය පුදා යමරජුට පින් දුන්නේය. අකුසල කර්මයකින් නරකයෙහි උපන් ඔහු යමරජු සමීපයට පැමිණවූහ. ඔහු දේවදූතයන් පස් දෙනාගෙනුත් කුසල කර්මයක් සිහි නොකරන කල්හි යමරජු තෙමේම බලන්නේ නුඹ සමන්මල් සැළියකින් මහසෑය පූජා කොට මට පින් දුන්නෙහි නොවේදැයි සිහි කරවූයේය. ඔහු ඒ කාලයෙහි සිහිකොට දෙව්ලොවට ගියේය. යමරජු තෙමේම බලා නොදකින්නේ නම් මේ සත්ව තෙමේ මහා දුක් විඳින්නේ යැයි නිශ්ශබ්ද වෙයි.