කෙසේ සිටි විට එකත් පස් ව සිටියේ නම් වේ ද?
ස්ථාන දෝෂ හය මඟ හැර, එනම් –
අති දූර, අති ආසන්න, උපරිවාත, උන්නත ප්‍රදේශ, අති සම්මුඛ, අති පශ්චාත් යනුවෙනි.
- අතිදූරේ (බොහෝ ඈතින්) සිටියේ: ඉදින් කථා කරනු කැමැත්තේ නම් උස් හඬින් කථා කළ යුතු වේ.
- අත්‍යාසන්න (ඉතා ළං වූ) තැනක සිටියේ ගැටීම් (හැප්පීම්) ඇති කරයි.
- උපරිවාත (උඩු සුළඟට) සිටියේ ශරීර ගන්ධයෙන් බාධා පැමිණේ.
- උන්නත ප්‍රදේශයෙහි (ඉහළ තැනක) සිටියේ අගෞරවය ප්‍රකාශ කරයි.
- අති සම්මුඛ (බෙහෙවින් ම ඉදිරිපිට) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් ඇසින් ඇස ගටා දැකිය යුතු වේ.
- අති පශ්චාත් (බෙහෙවින් පිටුපස වූ) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් බෙල්ල දික් කර දැකිය යුතු වේ.
එහෙයින් මේ ස්ථාන දෝෂ හය මඟ හැර සිටියේ ය.
ඥානවන්ත වූ දෙව් මිනිස්සු ගරු කටයුතු තැනකට පැමිණ අසුන් ගැනීම පිළිබඳ නිපුණතාවෙන් යුතු ව එකත් පස් ව සිටිති.
එකත් පසක සිටින විදි කීපයක් තියනවා
එකමන්තං අට්ඨාසි
හිඳ ගැනීමෙන් තොරව, එක් තැනකට වී සිට ගෙන සිටියේ ය. ( බොහෝමයක් දෙවියන් )
කවර හෙයින් නො හිඳ සිට ගෙන සිටියේ ද? ඉක්මනින් ආපසු යාමේ කැමැත්ත නිසාය. දේවතාවෝ කිසියම් වැදගත් කරුණක් නිසා, පිරිසිදු මිනිසෙකු මෙන් අපිරිසිදු තැනක් වූ මිනිස් ලොවට එති. යොදුන් සියයක දුරක පටන් මිනිස්ලොවෙහි දුගඳ දැනෙන බැවින්, පිළිකුල් වෙයි. මිනිස් ලොවෙහි ඇළුම් නො කරති. එහෙයින් පැමිණි කරුණ අවසන්කොට, ඉක්මනින් ආපසු යාමට කැමතිව හිඳගත්තේ නැත. ගමන් කිරිමේදී ඉරියව් පවත්වා ගැනීමේදී ඇතිවන වෙහෙස දුරුකරගැනීම පිණිස, යම් කෙනෙකුට හිඳගැනීම අවැසි වේද, දෙවියන්ට එබඳු වෙහෙස නැත. මහා සව්වන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි බැවින්, ගරුසැළකිලි දැක්වීමටද හිඳගත්තේ නැත. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගරුබුහුමන් දක්වනු පිණිස ද හිඳගත්තේ නැත. හිඳගනු කැමති දේවතාවුන්ට ආසන පහළ වේ. ඊට නොකැමතිව, හිඳගැනීමට සිතකුදු ඇතිකර නොගෙන, එකත්පස්ව සිටියේය.
එකමන්තං නිසීදිංසු
ඉක්බිති සෝණදණ්ඩ බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කෙළේ ය. සිතැ රැඳවිය යුතු වූ පිළිසඳර කතා අවසන් කොට පසෙක ඉඳගත්තේ ය. චම්පානගරවාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කළහ. සිතැ රැඳවියැ යුතු පිළිසඳර කොට නිමවා පසෙක හිඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් නම් ගොත් අස්වා පසෙක ඉඳගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳගත්හ.
ඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ.