මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්‍ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්‍ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය. අනර්‍ත්‍ථය සඳහා වැටෙයි. නිර්වේදයට නො ද වැටෙයි. විරාගයට නො ද වැටෙයි. නිරෝධයට නො ද වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො ද වැටෙයි. අභිඥානයට නො ද වැටෙයි. සම්බෝධියට නො ද වැටෙයි. නිර්‍වාණයට නො ද වැටෙයි.
මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, ඒකාන්තයට (අචල ශ්‍රද්ධාවට) පැමිණියේ, අතිශයින් පහන් වූයේ, තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ දක්නට යේ නම්, මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක්දොම්නස දුරලනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින්, පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයන් හෝ දක්නට යන්නේ ය යන තෙල කරුණ දර්‍ශනයන් අතුරෙන් අනුත්තරිය දර්‍ශන වේ.