නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ.

 

එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්‍ෂු භික්‍ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්‍ෂ දිනයන්හි දහම් ඇස්වීම පිණිස සූත්‍ර පිටකයෙන් බණවර සතරක්ද, පැමිණියවුන්ට පරිකථනය පිණිස අන්‍ධකවින්‍ද මහාරාහුලොවාද අම්බට්ඨසූත්‍ර සමානවූ එක් කථාමාර්‍ගයක්ද. සඟබත් මගුල් අවමගුල්හි අනුමොදනා පිණිස සඟබත් ආදියෙහි දානානිසංස ප්‍රතිසංයුක්තවූ නිධිකණ්ඩ සූත්‍රාදි අනුමොදනා, ගෘහප්‍රවෙශ මඞ්ගලාදියෙහි මඞ්ගලසූත්‍රාදි අනුමොදනා, මතකභත්ත ආදි අවමඞ්ගලාදියෙහි තිරොකුඩ්ඩසූත්‍රාදි අනුමොදනා යන ත්‍රිවිධ අනුමොදනාද, උපොසථ පවාරණාදිය දැනගනු පිණිස කර්‍මාකර්‍ම විනිශ්චයද, මහණදහම් කරනු පිණිස සමාධි වශයෙන් හෝ විදර්‍ශනා වශයෙන් හෝ රහත්බව කෙළවර කොට ඇති එක් කර්‍මස්ථානයක්ද යන මෙපමණෙක් උගත යුතුය. මෙපමණකින්ම මෙතෙමේ බහුශ්‍රැත වේ. සිවු දිසාවෙහි නොපැකිළෙන ගමන් ඇති බැවින් සිවුදිසා ඇත්තේ වේ. තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් යම්කිසි තැනක වසන්නට ලබාද,

 
පරිසුපට්ඨාපකවූ උපසම්පත්තියෙන් දසවස් ඇත්තහු විසින් යටත් පිරිසයින් පිරිස සියලු විනය පිටකයෙහි හික්මවන්නට භික්‍ෂු භික්‍ෂුණී විභඞ්ග දෙක ප්‍රගුණ කටයුතුය. වාචොද්ගත කටයුතුය. නොහැක්කහු විසින් තුන් දෙනකුන් සමග හැදෑරීමට සුදුසු වූවාහු කටයුත්තාහ. කර්‍මකර්‍ම විනිශ්චයද උගත යුතුය. කඳුවත්ද උගත යුතුය. පිරිස නාමරූප පරිච්ඡෙදයෙහි හික්මවනු පිණිස ඉදින් මද්ධ්‍යම භාණකයෙක් වේ නම්, මූලපණ්ණසකය උගත යුතුය. දීඝභාණකයා විසින් මහාවග්ගය උගතයුතුය. සංයුක්තභාණකයා විසින් මහාවග්ගයෙන් යට හෝ සගාථකවග්ග නිදානවග්ග ඛන්‍ධකවග්ග යන තෙවග හෝ උගත යුතුය. අඞ්ගුත්තර භාණකයා විසින් යට හෝ මතුවෙහි හෝ අද්ධ නිකායයක් උගත යුතුය. නොහැක්කහු විසින් තිකනිපාතය පටන් යට එකකනිපාත දුකනිපාත උගෙනීම වටියි. මහාපච්චරියෙහි වනාහි එක් නිපාතයක් උගත්නහු විසින් චතුක්කනිපාතය හෝ පංචකනිපාතය හෝ උගතයුතුයයි කියනලදී. ජාතකභාණකයා විසින් අර්‍ත්‍ථකථා සහිත වූ ජාතකය උගත යුතුය. ඉන් මෙපිට උගෙණීම නොවටියි. ධම්මපදයද වස්තූන් සහිතව උගතයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී. ඒ ඒ තැනින් එක් රැස් කොට මූලපණ්ණාසකය තරම් වටීද, නොවටීද, යත්: නොවටීයයි කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි ප්‍රතික්‍ෂෙප කරන ලදී. අන් තන්හි විචාරීමෙක්ම නැත්තේය. අභිධර්‍මයෙහි කිසිවක් ගතයුතු යයි නොකියන ලදී. යමක්හට වනාහි අර්‍ත්‍ථ කථා සහිත වූම විනයපිටකයද අභිධර්‍මපිටකයද ප්‍රගුණවේද සූත්‍රාන්තයෙහිද කියූ අයුරු ඇති ග්‍රන්‍ථයෙක් ප්‍රගුණ වූයේ නොවේද, හෙතෙමේ පිරිස ලවා උවැටන් කරවන්නට නොලබයි. යම් මහණකු විසින් සූත්‍රාන්තයෙන් හා විනයයෙන්ද කියූ පමණැති ග්‍රන්‍ථයෙක් උගන්නා ලද්දේ ද මෙතෙමේ පරිසුපට්ඨාපක බහුස්සත නම්වේ. දිසාපාමොක්‍ඛ වේ. යම්කිසි දිසාවෙක කැමැති සේ පවත්නේ වේ. පිරිස ලවා උවැටන් කරවා ගන්නට ලබන්නේය.
 
 
භික්‍ෂුණීන්ට අවවාද කරන මහණහු විසින් අර්‍ත්‍ථකථා සහිතවූ ත්‍රිපිටකය උගතයුතුය. නොහැකිවන්නහු විසින් සිවු නිකායයන් අතුරෙහි එක් නිකායයක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එක් නිකායයක් ඉගෙණීමෙන් සෙසු නිකායයන්හිද, ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. සප්තප්‍රකරණයන් අතුරෙහි ප්‍රකරණසතරක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එහි ලද නයින් සෙසු ප්‍රකරණයන්හිද ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. විනයපිටකය වනාහි නොයෙක් අර්‍ත්‍ථ ඇත්තේය. නොයෙක් කරුණු ඇත්තේය. එහෙයින් එය අර්‍ත්‍ථකථාව සමග ප්‍රගුණ කටයුතුමය. මෙපමණකින් භික්‍ඛුණොවාදක බහුස්සුත වේ.