භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි.
තුරිත චාරිකා, අතුරිත චාරිකා
එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ.
එය මහා කාශ්‍යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද එසේය. පුක්කුසාති සඳහා යොදුන් හතළිස්පහක්ද, මහා කප්පින සඳහා යොදුන් දෙදහසක්ද, ධනය සඳහා යොදුන් සත්සියයක්ද වැඩි සේක. ධර්ම සේනාපතිගේ සද්ධිවිහාරික වනවාසි තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනක් සහ යොදුන් දෙදහසක් වැඩි සේක.
එක් දවසක් සැරියුත් තෙරණුවෝ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යමියි කීහ. භාග්‍යවතුන් වහන්සේ මම ද එන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ඇමතූ සේක. ‘ආනන්ද විසිදහසක් ෂට් අභිඥාලාභීන්ට දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේකැ’යි ඉන්පසු දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඔහුගේ ගොදුරුගම්දොර බැස සිවුර පෙරවූ සේක. කර්මාන්ත සඳහා යන මිනිස්සු දැක ‘අපගේ ශාස්තෲන් වහන්සේ පැමිණි සේක. කර්මාන්ත සඳහා නොයන්නැයි කියා අසුන් පනවා කැඳ දී පාවත් කරන්නාහු ‘භාග්‍යවතුන් වහන්සේ කොහි වඩනා සේක්දැයි තරුණ භික්ෂූන්ගෙන් විමසූහ. ‘උපාසකවරුනි, භාග්‍යවතුන් වහන්සේ අන් තැනක නොවඩනා සේක. මෙහිම තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩි සේක. ඔවුහු අපගේ කුලුපග තෙරුන් දක්නට ශාස්තෲන් වහන්සේ වැඩිසේකැ, අපගේ තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවෙති යි සොම්නස් ඇත්තෝ වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බත්කිස කෙළවර සාමණේරයන් වහන්සේ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරු ‘භික්ෂු සංඝයා මහත්දැයි ඇසූහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි දැන්වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පිණ්ඩපාතයෙන් පිළිවිසූහ. ශාස්තෲන් වහන්සේ තිස්සගේ පාත්‍රය අතින් ගෙන ‘අවශ්‍ය නැත තිස්ස, බත්කිස නිමියේ යැයි කියූ සේක. ඉන්පසු උපාධ්‍යයන් වහන්සේ විමසා තමාට පැමිණි අසුනෙහි හිඳ බත්කිස කළහ. ඉක්බිති ඔහුගේ බත්කිස අවසන ශාස්තෲන් වහන්සේ යහපත් දෙයක් කියා නික්ම ගම්දොර සිට ‘තිස්ස ඔබගේ වසන තැනට යන මග කුමක්දැයි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, මෙය යැයි මග කියනවිට ‘තිස්ස පෙරටුව යන්න’යැයි කී සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි සදේවක ලෝකයට මාර්ගය පෙන්වන්නකු වුවද සියලු තුන්ගවු මග සාමණේරෙයන් දක්නට ලබමියි ඔහු මාර්ග දේශකයා කළ සේක.
හේ තමාගේ වසන තැනට ගොස් උන්වහස්ට වත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස ඔබගේ සක්මන කුමක්දැයි අසා එහි ගොස් සාමණේරයන් හිඳින පහණෙහි හිඳ ‘තිස්ස මෙතැන සුවසේ විසීදැයි ඇසූ සේක. ‘එසේය ස්වවාමීනි, මෙතැන වසන මට සිංහයන්ගේ ව්‍යාඝ්‍රයන්ගේ හස්තීන්ගේ මෘගයන්ගේ සොරුන්ගේ හඬ අසනවිට අරණ්‍ය සංඥාව උපදී. එයින් සැපසේ වෙසෙමි.’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස මහා සංඝයා රැස්කරවන්න. බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමියි කියා භික්ෂු සංඝයා රැස් වූ කල්හි උන්වහන්සේ උපසම්පදා කොට තමා වසන තැනට වැඩි සේක. මෙය තුරිත චාරිකාවයි.
ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන. මෙය අතුරිත චාරිකා නමි.
මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙන සේක. එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන්ය. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන්ය. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන්ය. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමුවන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් වෙයි. කලින් කලින් ආවාහු ආරාධනා කරන්ට ලබති. ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එයි. එහි භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගම්හි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්මදානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරන සේක.
ඉදින් ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා තරුණ වේනම් මහා පවාරණයෙන් නොපවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණිමස පළමුවන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට බසින සේක. තවත් කරුණකින්ද මධ්‍ය මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්. සිමසක් වැස ම නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අටමසකින් චාරිකාව නිමකරන සේක.
ඉදින් සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැස මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සමසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරන සේක.
මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ චීවර ආදී හේතුවකින් නොවේ. ඉක්බිති දුප්පත්, බාල දිරූ රෝගී වූවෝ කවදා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බලන්නෝද, මා චාරිකාවෙහි හැසිරෙනවිට මහජනයා තථාගත දර්ශනය ලබන්ය. එහිදී කිසිවෙක් සිත් පහන් කරත්. කෙනෙක් මල්දම් ආදියෙන් පුදන්නෝය. සමහරු හැන්දෙන් භික්ෂාව දෙති. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෝය. එය ඔවුන්ට බොහෝකලක් හිතපිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරන සේක.
තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ජංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළයුතු සතුන්ට අවබෝධය ලබාදෙනු පිණිස යනුවෙනි.
තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි. තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ.
තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘ප්‍රථමධ්‍යානය ලබන්නාහුය කියා හෝ ද්විතීය -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නාහුය කියා හෝ.
තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘සෝවාන් මාර්ගය අවබෝධ කරන්නාහුය. සෝවාන් ඵලය -පෙ- අරහත්ත ඵලය සාක්ෂාත් කරන්නාහුය කියා හෝ.
මේ අතුරිත චාරිකාව මෙහි චාරිකායැයි අදහස්කරන ලදී. එය දෙවැදෑරුම් වෙයි. ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. එකම අවබෝධ කළයුතු සත්ත්වයකු පිණිස හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. මෙහි මෙය අදහස් කරන ලදී.
එකල්හි පැසුළුයම්කිස අවසන්හි දසදහසක් ලෝකධාතුවෙහි ඤාණ මණ්ඩලය පතුරුවා අවබෝධ කළයුතු බන්ධුවරයකු බලන්නා වූ උන්වහන්සේ සර්වඥතා ඥාන ජාලයට පොක්ඛරසාතී බමුණා පිවිසියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බමුණා මාගේ ඥාන ජාලයෙහි පෙනේ. මොහුට උපනිශ්‍රයක් ඇත්දෝයි විමර්ශනය කරන සේක් සෝවාන් මගට උපනිශ්‍රය ඇති බව දැක ‘මොහු මා ඒ ජනපදයට ගිය කල්හි ලකුණු සොයා බලන්ට අම්බට්ඨ නමැති අතවැසියා එවන්නේය. ඔහු මා සමග වාද ප්‍රතිවාද කොට නානාප්‍රකාර අසභ්‍ය වාක්‍ය කියයි. මම ඔහු දමනය කොට හීලෑ කරන්නෙමි. හේ ගුරුවරයාට කියන්නේය. ඉක්බිති ඔහුගේ ගුරුවරයා ඒ කථාව අසා පැමිණ මාගේ ලකුණු සොයා බලන්නේය. මම ඔහුට ධර්මය දේශනා කරන්නෙමි. හේ දේශනාව කෙළවර සෝවාන්පෙලෙහි පිහිටන්නේය. දේශනාව මහජනයාට සඵල වන්නේ යයි පන්සියයක් භික්ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක.