බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවක වූ ආර්‍ය්‍යයන්ට. යටත්පිරිසෙයින් ගිහි ස්‍රොතාපන්නයන්හටද අනර්‍ත්‍ථ කැමතිව අන්තිම වස්තුවෙන් හෝ විද්‍යමාන ගුණ නැසීමෙන් දොස් නගන්නෝය. ආක්‍රෝශ කරන්නෝය. ගරහන්නෝ යයි වදාරණ ලද්දේ වේ. එහි ‘මොවුන්හට මහණදමක් නැත, මොවුහු අශ්‍රමණයෝ’යි කියනුයේ අන්තිම වස්තුවෙන් දොස් නැගීමම කරයි. ‘මොවුන්හට ධ්‍යානයක්, විමොක්‍ෂයක්, මාර්‍ගයක්, ඵලයක් හෝ නැතැ’යි කියනුයේ ගුණ නැසීමෙන් දොස් නැගීම කෙරේයයි දතයුතුය. ඒ දොස් නැගීම කරනුයේද දන්නේ හෝ නොදන්නේ දොස් නැගීම කරන්නේය. දෙපරිද්දෙන්ම දොස් නැගීම ආර්‍ය්‍යාපවාදයම වේ. මේ කය ඉතා බැරෑරුම්ය. ස්වර්‍ගාවරණද මාර්‍ගාවරණද වේ. එය ප්‍රකට කරණු පිණිස මේ කථාවස්තුව ගෙනහැර දක්වත්:

එක්තරා ගමක එක් ස්ථවිර නමක්ද තරුණ භික්‍ෂු නමක්ද පිඩුසිඟා හැසිරෙති. ඔවුහු පළමු ගෙයිදීම කෙණෙස්සක් පමණ උණු කැඳක් ලැබූහ. තෙරුන්ගේ උදරයෙහි වාතයක් ඇත්තේය. එහෙයින් ස්ථවිරතෙමේ ‘මේ කැඳ මට හිතවේ. සිහිල් වන්නට පෙරාතුව එය වළඳිමි’යි සිතුයේය. සිතා මිනිසුන් විසින් එලිපතක් සඳහා ගෙනැවිත් තුබූ දැවකඩක හිඳ එය වැළඳුයේය. තරුණ භික්‍ෂුතෙමේ ‘මේ මහල්ලා තද බඩගිනි ඇත්තේ ඒකාන්තයෙන් අපට ලජ්ජා විය යුත්තක් කෙළේය’යි එය පිළිකුල් කෙළේය. ස්ථවිරතෙමේ ගමෙහි පිඩුසිඟා හැසිර වෙහෙරට ගොස් ‘ඇවැත! ඔබට මේ ශාසනයෙහි පිහිටක් ඇත්තේදැ’යි ඒ තරුණ භික්‍ෂු නමගෙන් ඇසීය. ‘ස්වාමීනි! එසේය, ඇත්තේය, මම සෝවාන්මි’යි කීය. ‘ඇවැත! එසේනම් මතු මාර්‍ග පිණිස උත්සාහ නොකරව, යුෂ්මත්හු විසින් දොස් නගන ලද්දේ ක්‍ෂීණාස්‍රවයෙකැ’යි කීවිට ඒ භික්‍ෂුනම මහතෙරහු කමාකරවීය. එහෙයින් ඔහුගේ එය පියවිබවට ගියේය. එහෙයින් අනෙකෙක්ද ආර්‍ය්‍යන් හට දොස් නගානම්, ඔහු විසින් ඔහු වෙත ගොස් ඔහු තමාට වඩා වෘද්ධතර වේ නම්, ‘මම ආයුෂ්මත්හට මේ මේ වචන කීමි, මට එයට කමාවනු මැනවැ’යි කමාකරවිය යුතුය. ඉදින් නවකතරයෙක් වේනම්, වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘වහන්ස! මම ඔබවහන්සේට මේ මේ වචන කීමි, එයට මට කමාවනු මැනවැ’යි කමා කරවිය යුතුය. ඉදින් ඔහු කමානොකෙරේ නම්, දිග් බලා ගියේ හෝ වේනම්, එකල ඒ විහාරයෙහි යම් භික්‍ෂූහු වසත්නම්, ඔවුන් වෙතට ගොස් ඉදින් තමාට වඩා වෘද්ධතර වේනම්, සිටියහු විසින්ම කමාකරවිය යුතුය. ඉදින් නවකතර වේනම්, උක්කුටිකයෙන් හිඳ ඇඳිලිබැඳ ‘වහන්ස! මම අසුවල් ආයුෂ්මත් හට මේ මේ වචන කීමි, ඒ ආයුෂ්මත්තෙමේ මට කමාවා’යි මෙසේ කියන්නහු විසින් කමා කරවිය යුතුය. ඉදින් හෙතෙමේ පිරිනිවියේ වේනම්, පිරිනිවි ඇඳ තුබූතැනට ගොස්, සොහොනට හෝ ගොස් කමා කරවිය යුතුය. මෙසේකළ කල්හි සර්‍ගාවරණද මාර්‍ගාවරණද නොවේ. පියවි සැහැවි ඇත්තේම වේ.

මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම අරියූපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට පැමිණෙන්නේය.
 
කවර නම් එකොළසකටද යත්?
  1. නොලබන ලද්ද නොලබයි.
  2. ලබන ලද්දෙන් පිරිහෙයි.
  3. සද්ධර්මය පැහැදිළි නොවෙයි.
  4. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි.
  5. අකමැතිව බඹසර හැසිරෙයි.
  6. එක්තරා කිලිටු ඇවතකට හෝ පැමිණෙයි.
  7. ශික්‍ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි.
  8. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්‍ශ කරයි.
  9. චිත්ත වික්‍ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි.
  10. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි.
  11. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකම පිහිටියා වූ නරකයෙහි උපදියි.

 
කොකාලික සූත්‍රය.
 
ඉක්බිති කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
“තුන්වෙනුවත් මෙසේ කීය.
 
ඉක්බිති කොකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික මහණහුගේ අබ ඇට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුණේ වේ. අබ ඇට පමණ වී, මුං ඇට පමණවිය. මුං ඇට පමණ වී, කොල්ලු ඇට පමණ විය. කොල්ලු ඇට පමණ වී, ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ වී, ඩෙබර ගෙඩි පමණ විය. ඩෙබර ගෙඩි පමණ වී, නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී, බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ වී, බෙලි පමණ විය. බෙලි පමණ වී, බිඳුණේය. සැරවද, ලෙයද වැගුරුණේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි.
 
ඉක්බිති තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙමේ කොකාලික මහණ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, අහසෙහි සිට, කොකාලික මහණහට, “කොකාලිකය, සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත්, මුගලන් දෙනම සිල්වත්ය” යි කීයේය. – “ඇවැත්නි, ඔබ කවරෙක්ද?” “මම තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මයෙක්මි.” “ඇවැත්නි, ඔබ අනාගාමීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?”
“මෙහි පැමිණ කොහි හැසිරෙහිද?”
 
“තොපගේ මේ අපරාධය පළමුකොට බලව.” ඉක්බිති කොකාලික මහණහට තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙම මේ ගාථාවන් කීයේය.
 
නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.
යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.
“දූ කෙළියෙන් යම් ධන පිරිහීමක් ඇද්ද, මේ වරද ස්වල්පමාත්‍රය. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, තමා සමග සියල්ලන්ට මෙය මහත් පාපයකි. ලාමක සිතද, වචනයද පිහිටුවා ආර්‍ය්‍යයන්ට ගරහා අබ්බුද ලක්‍ෂ ගණන්ද, නිරබ්බුද තිසක්ද පසක්ද නරකයට යයි.
 
ඉක්බිති කොකාලික මහණතෙම ඒ අසනීපයෙන්ම කළුරිය කෙළේය. කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි ඉපදුනේය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර ප්‍රභා ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නිරයෙහි උපන්නේය” යි කීයේය. සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් වූයේය.
 
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනය ආලෝකකර මම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය” යි කීයේය. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා මා වැඳ, පැදකුණුකොට, ගියේය” යි වදාළ සේක.
 
“මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක්තෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය කොපමණ දිගදැ” යි ඇසිය. “මහණ, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය, මෙතෙක් වර්‍ෂයයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ සියයකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ, ගණන් කරන්නට පහසු නොවේ.” – “ස්වාමීනි, උපමාවක් කරන්නට හැක්කේදැ” යි ඇසීය. “මහණ, හැකිය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
“මහණ, විසි කිරියක් ඇති, (කිරිය කුරුණි 16) කොසොල් රට තල ගැලක් පුරුෂයෙක් තෙම ඉන් වර්‍ෂ සියයකට, වර්‍ෂ සියයකට වරක් එක තල ඇටක් ගන්නේය. මහණ, ඒ විසිකිරියක් ඇති, ඒ කොසොල්රට තල ගැල මේ උපක්‍රමයෙන් ගෙවීමට, ඉතිරි නොවීමට යන්නේ යම් සේද, එක් අබ්බුද නරකයක් (ආයුෂ) ගෙවීමට නොයයි. මහණ, යම් සේ අබ්බුද නරක විස්සක් එක් නිරබ්බුද නරකයක් වේද, මහණ යම් සේ නිරබ්බුද නරක විස්සක් එක් අබබ නරකයක් වේද, මහණ යම් සේ අබබ නරක විස්සක් එක් අහහ නිරයක් වේද, මහණ යම් සේ අහහ නිරය විස්සක් එක් අටට නිරයක් වේද, මහණ යම් සේ අටට නරක විස්සක් එක් කුමුද නරකයක් වේද, මහණ යම් සේ කුමුද නරක විස්සක් එක් සොගන්‍ධික නරකයක් වේද, මහණ යම් සේ සොගන්‍ධික නරක විස්සක් එක් උත්පලක නරකයක් වේද, මහණ යම් සේ උත්පලක නරක විස්සක් මෙසේ එක් පුණ්ඩරීක නරකයක් වේද, මහණෙනි, විසි පුණ්ඩරීක නරකයක් එක් පදුම නිරයකි. මහණ, කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.