තිරිසන් භූමිය

මනුෂ්‍යයන් මෙන් කෙලින් නොගොස් සිරස්ව නැමී යන්නේ තිරච්චානයෝ යි. ඔවුන්ගේ ජාතිය තිරිසන් යොනිය යි. මේ තිරිසනුන් හට තැන් නියම නැත. මාර්ග ඵලයන්ගෙන් මිදුනා වූ ද, යට භාගයට යන්නා වූ ද යන අර්ථයෙන් ද තිරච්ඡාන නම් වන්නේ ය.

ප්‍රෙත භූමිය

සර්වප්‍රකාරයෙන්ම සැපයෙන් දුරුවූ සත්ත්වයෝ ප්‍රෙතයෝ යි.
මේ ප්‍රෙතයෝ කොටස් හතරකි. එනම්:

  1. පරදත්තුපජීවි,
  2. ඛුප්පිපාසික,  
  3. නිජ්ඣාමතණ්හික
  4. කාලකඤ්ජික ප්‍රෙත කොටස් සතරය.

තවත් කොටස් දොළොසක් දක්වා ඇත. එනම්

  1. වන්තාස,
  2. කුණපාස,
  3. ගුථඛාදක,
  4. අග්ගිජාලමුඛ,
  5. සූචිමුඛ,
  6. තණ්හට්ඨිත,
  7. සුනිජ්ඣාමක
  8. සත්වග,
  9. පබ්බතංග,
  10. අජගර,
  11. වේමානික,
  12. මහිද්ධික යන කොටස් දොළොසකට අයත් ප්‍රෙතයෝ ය.

මේ‍ ප්‍රෙත ආත්මයම ප්‍රෙතයෝනි නම් වේ. ඔවුන්ගේ වාසයට නියම තැනක් නැත.

අසුර භූමිය

ඓශ්චර්‍ය්‍ය ක්‍රීඩා ආදියෙන් බැබැළීමක් නැති, සුර නොවූවෝ අසුර නම් වෙති.
අසූරයෝ කොටස් පසෙකි. එනම්:

  1. දේව අසුර,
  2. විනිපාතික අසුර,
  3. වේමානික අසුර,
  4. ලොකාන්තරික අසුර,
  5. ප්‍රෙත අසුරයෝ යි.

මෙයින් ප්‍රෙත අසුරයෝ පමණක් සතර අපායට ඇතුළත් වෙති. සම්පත්තියෙන් දෙවියන් හා සමාන වූ වේපචිත්ති, පහාරාදී අසුරයෝ දේව අසූර සංඛ්‍යාවට ගැණෙත්. මොව්හු දෙවියන්ට සතුරුය. මේ දේව අසුරයෝ දුහේතුක කාමාවචර මහා විපාක සිතකින් පටිසන්ධිය ලැබුයේ වීනමුත්, ප්‍රවෘත්ති කාලයේ දී ත්‍රිහේතුක මහා විපාක ලබන්නාවූ දෙවියන්ට බඳු පස්කම් සැප අනුභව කරණ හෙයින් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඇතුළත් වෙති. නමුත් ඔවුන්ට, ත්‍රිහේතුක පටිසන්ධිය ලැබූ දෙවියන්ට මෙන් ධ්‍යාන මාර්ග ඵලාදිය නොලැබේ.

පියඞකර මාතු, උත්තර මාතු ආදිහු විනිපාතික අසුරයෝයි. යමරජු ආදීහු වේමානික අසුරයෝ යි. ලෝකාන්තරික නරකයෙහි වසන අසුරයෝ ලොකාන්තරික අසුරයෝ යි. ප්‍රෙත අසුරයෝ නම් කාලකඤ්ජික ප්‍රෙතයෝමය. මේ අසුරයෝද අපායට ඈතුළත් වෙති. මෙයින් විනිපාතික සහ වේමානික අසුරයන් චාතුම්මහාරාජිකයටලොකන්තරික අසුරයන් නිරයටද ගැණෙත්.

මේ අපාය සතර අතුරෙන්, තිරිසන්, ප්‍රෙත සහ අසුරයින්ට නියම භූමි නැත. ඔවුන්ගේ ස්කන්ධයෝම, ඔවුන්ට වෙත්. එබැවින් මේ තිරිසන්, ප්‍රෙත සහ අසුරයෝ වාසය කරන්නාවූ ස්ථාන කෙසේ වෙතත් ඔවුන්ගේ පඤ්චස්කන්ධයෝම තිරිසන් භූමි ප්‍රෙත භූමී සහ අසුර භූමියයි සළකනු ලැබේ. අපාය පටිසන්ධිය ලැබූ මේ තිරිසන් ආදී සතුන් රජ මාලිගය ආදින්හි හෝ වෘක්ෂ, වන, පර්වත, ගංගා මහා මුහුදු හෝ, කුණු කසල, අසූචියෙහි හෝ වෙසෙතත්, එකම අහේතුක අකුසල විපාක ප්‍රතිසන්ධියකින්ම පිළිසිඳ ගත් සත්ත්වයෝ මය. සතර අපාය භුමි යෙහි වාසය කරන්නාවූ සත්ත්ව ජාතින්ගේ සංඛ්‍යාාව අනන්තය, අප්‍රමාණය, අචින්තිය. උද්ධච්ච සම්ප්‍රයුක්ත අකුසල චිත්තය හැර සෙසු එකොළොස් අකුසල කර්මයන්ගේ ශක්තියෙන්ම අපායෙහි පහළ වන්නාවූ විවිධ ශරීර සටහන් ඇත්තා වූ මේ සත්ත්වයන් අතර, සත් සියයක් යොදුන් දිග ආනන්ද නම් මත්ස්‍ය දී මහත් ආත්මභාව ඇති සත්ත්වයෝ ද, මසැසට නොපෙනෙන කුඩා සත්ත්වයෝද, පාද රහිත, ද්විපාද, චතුප්පාද, බහුප්පාද සත්ත්වයෝ ද, ඒ ඒ යොනියට සුදුසු පරිදි උපදනාහුය. එ සත්ත්වයන් ගේ නාම කාය, උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් ද, රූප කාය යෝනියෙන් ද හටගන්නා බැවින් ඒ ඒ යොනියෙහි ඇත්තාවු ස්වභාවයෙන් ම එ ඒ සත්ත්වයන් ගේ ශරීර සටහන් ආදිය හටගන්නේය. මොවුන්ගේ භවංග චුති චිත්තයෝ ද එම උපෙක්ඛා සන්තීරණ සිත ම ය.

තවද යම් යම් අපායයන්හි ආයු ප්‍රමාණය සඳහන්වී ඇතත්, එහි උපන්නාවූ සත්ත්වයන්ගේ අකුසල කර්මය යම්තාක් නොගෙවේ නම් , ඒතාක් අපායයෙන් චුත නොවන බව දත යුතුයි. තිරිසන් ආත්මයෙහි උපන්නාවූ සත්ත්වයන් අතර කල්පායුෂ්ක වූ මහා නාගරාජයෝ ද, වැසිකිළි, කුණු කසළ ආදියෙහි උපන්නාවූ සත් දිනකට වඩා ආයුෂ නැත්තා වූ පණු ආදි සත්ත්ව වර්ගයෝ ද ඇත්තාහ. තවද, සතර අපායෙහි උපදනා සත්ත්වයන් අතුරෙන් නරක යන්හි පහළ වන්නා වූ සත්ත්වයෝ ඕපාපාතිකවම පහළ වන්නාහුය. ඔවුන්ගේ ඕපපාතික ප්‍රතිසන්ධික්ෂණයේදී ප්‍රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණය හා සමගම චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, භාව වස්තු සංඛ්‍යාත සප්ත දශක රූප කලාප පහළ වෙත්. එයින් ඇතැම් සත්ත්වයන්ට ඇතැම් විටෙක චක්ඛු, සොත, භාව දශක පහළ නොවෙත්. ඝාණ ප්‍රසාදය නැත්තා වූ නරක වාසි සත්ත්වයෙක් නම් නැත්තේය. තිරිසන් යෝනියෙහි උපදනා සත්ත්වයන් කෙරෙහි අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඕපපාතික යන සතර යෝනියටම ඇතුළත් සත්වයෝ ඇත්තාහ. ප්‍රෙතයන් අතර නිජ්ඣාමතණ්හික නම් ප්‍රෙත යෝනියෙහි එකම ඕපපාතික ප්‍රතිසන්ධියක් ම ලැබෙන්නේය. සෙසු ප්‍රෙතයන් අතර සතර යෝනියටම අයත් සත්ත්වයෝ ඇත්තාහ. නරකයෙහි උපදනා සත්ත්වයන්ගේ කර්මජ තේජෝ ධාතුව අධික හෙයින්, ඕපපාතිකවම මිස, අඩජ, ජලාබුජ, සංසෙදුජ යන යොනිත්‍රය නොලැබෙන්නේය.